✟✯🌷ශු. පෙලාජියා මුනිවරිය 🌷✯ ✟

 


පෙලාජියා යනු පලස්තීන අන්තියෝකියේ ජීවත් වූ නර්තන කණ්ඩායමක ප්‍රධාන නර්තන ශිල්පිනිය මෙන්ම  නිළියක් ද වූවාය. ඇයගේ රූප ශ්‍රීය, ධනය  සහ ජිවිත පැවැත්ම පිළිබඳ ප්‍රසිද්ධියක් නගරයේ පුරාම පැවතිණි.

දිනක් ඇය ඇගේ ඉතා අලංකාර සහ වර්ණවත් ඇඳුම් පැළඳුම්වලින් සැරසී දේවස්ථානයක් අසලින් ගමන් කරමින් සිටින විට එඩෙසාවේ රදගුරුතුමා වූ නොනස් ඒ මොහොතේ දේශනා කරමින් සිටියේය. දේවස්ථානයේ සිටි පිරිස ඇය දුටු වහාම මුහුණු ඉවතට හරවා ගත්තද, රදගුරුවරයා ඇගේ බාහිර අලංකාරයට වඩා අධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වය දුටුවේය. එදිනම එතුමා ඇය වෙනුවෙන් ඇගේ ආත්ම ගැලවීම පිණිස යාච්ඤා කළ අතර, එතුමාගේ සහෝදර පූජකවරුන් ද ඇගේ දුක්ඛිත ආත්මය අලංකාර කිරීම සඳහා දෙවිඳුන් යදින ලදි. 

පසු දින පෙලජියා නොනොස් රදගුරුතුමාගේ දේශනාව අසන්නට ගියාය. එතුමා එදින කතා කළේ අවසාන විනිශ්චය සහ එහි ප්‍රතිවිපාක ගැන ය. එතුමාගේ දේශනාව ඇය‌ට කෙතරම් සිත් කාවැදුණාද යත්, ඇය පසුතැවිලි වී කඳුළු සලමින් ඇයව බව්තීස්ම කරන ලෙස රදගුරුතුමාගෙන් ඉල්ලා සිටියාය. ඇයගේ අවංකභාවය සහ පසුතැවීම දුටු එතුමා එයට එකඟ විය.

 
තම සන්තක සියලු ධනය දුප්පතුන් වෙනුවෙන් බෙදා දෙන ලෙස රදගුරුතුමන්ට ලබාදී පසුව ඒවා බෙදා හැරීමට උපදෙස් දුන් පෙලාජියා අවසානයේ රදගුරු තුමාට මෙසේ පැවසීය: "පාපයෙන් උපයන මෙම ධනය ධර්මිෂ්ඨකමේ ධනයක් බවට පත් වන පිණිස මෙය ඥානවන්තව විසුරුවා හරින්න." පසුව ඇය අන්තියෝකියෙන් පිටව පිරිමියෙකු සේ වෙස්වලා තාපස ජීවිතයක් ගත කරන පිණිස ජෙරුසලමෙහි පිහිටි ඔලීව කන්දට ගියාය.

එහි ඇය ඉතා ගැඹුරු භාවනාවේ සහ පශ්චාත්තාපීක ජීවිතයක් ගත කළ අතර ඇයව හඳුන්වා ඇත්තේ රැවුලක් රහිත තාපසවරයා ලෙසයි. පුරුෂයකු ලෙස කල්ගත කළ ඇය කාන්තාවක් බව හඳුනාගන්නා ලද්දේ ඇයගේ මරණයෙන් පසුවය.

Post a Comment

0 Comments