꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 9 ✟✟☬༒☆꧂



  පළමුවන කියවීම 2 රාජාවලිය 5:14-17

14ඔහු මාසයකට දසදහසක් බැගින් මාරුවෙන් මාරුවට ඔවුන් ලෙබනොන් දේශයට යැවී ය. ඔව්හු එක මාසයක් ලෙබනොන්හි ද දෙමාසයක් ගෙදර ද සිටියෝ ය. අදොනිරාම් වනාහි රාජකාරියේ නිලධාරියා විය. 15කඳුවල ගල් කැපීමට අසූදහසක් ද ඒ ගල් උසුලාගෙන යෑමට හැත්තෑදහසක් ද සෙනඟ සලමොන්ට සිටියෝ ය. 16ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය. 17කැපූ ගල්වලින් මාලිගාවේ අත්තිවාරම දමන පිණිස රජුගේ ආඥාව පිට විශාල වූ ද අනර්ඝ වූ ද ගල් ගෙනාවෝ‍ ය. 18සලමොන්ගේ වඩුවෝ‍ ද හීරාම්ගේ වඩුවෝ‍ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ‍ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.
පිළිතුරු ගීය ගීතාවලිය 98:1, 2-3, 3-4
පිළිතුර -සමිඳාණෝ  විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
1සමිඳුන්ට නව ගීයක් ගයන්න;
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක.
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
පිළිතුර -සමිඳාණෝ  විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක;
විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක.
පිළිතුර -සමිඳාණෝ  විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න;
ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
පිළිතුර -සමිඳාණෝ  විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.

දෙවන කියවීම 2 තිමෝති 2:8-13
8මාගේ සුබ අස්නේ තේමාව නම්; “දාවිත්ගේ වංශයෙන් උපන්, මරණයෙන් උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.” 9අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය. 10එබැවින් තෝරා ගත් අයට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් වන ගැළවීමත්, ඒ සමඟ ම වූ සදාතන මහිමයත් ලැබෙන සේ ඔවුන් නිසා සියල්ල ඉවසමි. 11පහත දැක්වෙන්නේ විශ්වාස කටයුතු කීමක් ය.
“අපි උන් වහන්සේ සමඟ මැරෙමු නම්, අපි උන් වහන්සේ සමඟ ජීවත් වන්නෙමු;
12  අපි ස්ථිර ව සිටිමු නම්, උන් වහන්සේ සමඟ රජකම් කරන්නෙමු;
අපි උන් වහන්සේ ප්‍රතික්ෂේප කරමු නම්, උන් වහන්සේ අපත් ප්‍රතික්ෂේප කරන සේක.
13අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක.
මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”

ආලේලූයියා 1 තෙසලෝනික 5:18
18 සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.
සුබාරංචිය ලූක් 17:11-19
11ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී, සමාරිය හා ගලීලය මැදින් ගමන් ගත් සේක. 12උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, ලාදුරු රෝගීහු දස දෙනෙක් උන් වහන්සේට හමු වූ හ. 13ඔව්හු දුරින් සිට, “ජේසුස් වහන්ස, ආචාරීනි, අපට කරුණා කළ මැනවැ”යි හඬ නඟා කී හ. 14 උන් වහන්සේ ඔවුන් දැක, “ඔබ ගොස් පූජකවරුන් අබිමුවෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. 15ඔව්හු එසේ යද්දී පවිත්‍ර වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් තමා සුව වූ බව දැක, මහ හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරළා අවුත්, 16උන් වහන්සේගේ පාමුල වැඳ වැටී උන් වහන්සේට ස්තුති කෙළේ ය. ඔහු වනාහි සමාරීය ජාතිකයෙකි. 17ජේසුස් වහන්සේ කතා කරමින්, “දහ දෙනෙක් ම පවිත්‍ර වූවා නොවේ ද? අනෙක් නව දෙනා කොහේ ද? 18මේ විජාතිකයා හැර, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස වෙන කිසිවෙක් හැරී ආවේ නැද් ද” කියා, 19ඔහුට කතා කොට, “නැඟිට යන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය”යි වදාළ සේක.


Post a Comment

0 Comments