꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 26 ✟✟☬༒☆꧂

 


  පළමුවන කියවීම එපීස  6:1-9

1 දරුවෙනි, ඔබේ දෙමවුපියන්ට සමිඳාණන් වහන්සේ තුළ කීකරු වන්න. එය ඔබගේ යුතුකම ය. 2“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය. 3එනම්, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇත යනුයි.
4  පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.
5  දාසයෙනි, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න. 6මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර, ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න. 7මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව, සමිඳාණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිතින් සේවය කරන්න. 8දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න.
9  ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න.

පිළීතුරු ගීය ගීතාවලිය 145:10-11, 12-13AB, 13CD-14

      පිළීතුර සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.

10සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි;
ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.
11ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති.
ඔබේ බල මහිමය ගැන ද කතා කරති.
   පිළීතුර සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.
12එසේ කරන්නේ, දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිස ය.
13ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය
   පිළීතුර සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.
සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.
තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
14වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක.
නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.
   පිළීතුර සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.

      ආලේලූයියා 2 තෙසලෝනික 2:14

         එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය. 


      සුබාරංචිය ලූක් 13:22-30

   22උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක. 23එක් කෙනෙක් කතා කොට, “ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක: 24“පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි. 25ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ’යි කියන කල, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි’යි ඔහු පිළිතුරු දෙනු ඇත. 26එවිට ඔබ: ‘අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ’යි කියන්නහු ය. 27 එහෙත් ඔහු කතා කොට, ‘නුඹලා කොතැනින් ආවාහු දැ යි මම නොදනිමි. අදමිටුකම් කරන නුඹලා සියලු දෙනා ම මා කෙරෙන් පලා යව්’ යයි කියන්නේ ය. 28 ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ. 29තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. 30 මෙ‍න්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.”



Post a Comment

0 Comments