꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 23 ✟✟☬༒☆꧂



 ළමුවන කියවීම සිරාක්  35:12-14, 16-18

12මන්ද, සමිඳාණන් විනිශ්චයකාරයෙකු වන හෙයිනි.
උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම නොබලන සේක.
13දුප්පතාට හානි සිදු වන ආකාරයෙන් උන් වහන්සේ මිනිසුන් නොසලකන සේක.
උන් වහන්සේ පීඩිතයාගේ කටහඬට ඇහුම්කන් දෙන සේක.
14උන් වහන්සේ අනාථයාගේ ආයාචනය ඉවත නොලන සේක.
තම මැසිවිල්ල වගුරුවන වැන්දඹුවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකරන සේක.
16 තම මුළු සිතින් දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නා පිළිගනු ලබන්නේ ය.
ඔහුගේ අයැදුම වලාකුළු දක්වා නඟින්නේ ය.
17බැහැපත් මිනිසාගේ යැදුම් වලාකුළු සිදුරු කරගෙන යන්නේ ය.
එය සමිඳුන් වෙත යන තෙක් ඔහු සැනසුම ලබන්නේ නැත.
18මහෝත්තමයාණන් වහන්සේ ඔහු දෙස නෙත යොමු කරන තෙක්, ධර්මිෂ්ඨයාගේ අයිතිය දී යුක්තිය නැවත පිහිටුවන තෙක්, ඔහුගේ යාච්ඤාව නොනවතින්නේ ය.

පිළීතුරු ගීය ගීතාවලිය 34:2-3, 17-18, 19, 23

පිළීතුර හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
2මම එතුමාණන්ගේ ගුණ වර්ණනා කරමි.
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න;
අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු.
පිළීතුර හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
17දැහැමි අය අයැදුම් කළහ;
හිමිතුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.
18හිමිතුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක;
තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.
පිළීතුර හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
19දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමිතුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.
පිළීතුර හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.
22 හිමිතුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක.
එතුමාණන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.
පිළීතුර හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර, කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.

ආලේලූයියා 2 තිමෝති 4:6-8, 16-18
6මා ගැන කියතොත්, මගේ ජීවිතය දැනට ම පානීය පූජාවක් මෙන් පිදීමට සූදානම් ව ඇත. මාගේ වියෝ වීමේ කාලය දැන් පැමිණ තිබේ. 7මම යහපත් සටනෙහි සටන් කෙළෙමි. මම දිවීම අවසන් කෙළෙමි, මම ඇදහිල්ල රක්ෂා කෙළෙමි. 8දැහැමි ජීවිතයක කිරීටය මට දැන් වෙන් කර තිබේ. ඒ මහා දවසේ දී සාධාරණ විනිශ්චයකාර සමිඳාණන් වහන්සේ එය මට දෙන සේක. මට පමණක් නොව, උන් වහන්සේගේ ප්‍රකාශ වීම ආශාවෙන් බලාපොරොත්තු වන සියල්ලන්ට ද එය දෙන සේක.
16මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. 17එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි. 18සමිඳාණන් වහන්සේ සියලු දරුණු උවදුරුවලින් මා මුදා, උන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට මා පමුණුවන සේක. උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.
සුබාරංචිය ලූක් 18:9-14
9තමා ධර්මිෂ්ඨ යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. 10“මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි. 11පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, ‘දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙ‍න් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි. 12සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි’යි කී ය. 13එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය. 14 මෙ‍ය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”



Post a Comment

0 Comments