✟✯✯ සාන්ත වින්සෙන්ති ද පාවුලා මුනිතුමා✯ ✯ ✟

 


කතෝලික දයා සේවාවේ නිර්මාතෘ ලෙස සළකන සාන්ත වින්සෙන්ති ද පාවුලා මුනිතුමා සාන්ත සභා මාතාව විසින් සැප්තැම්බර් මස 27වන දින සමරනු ලබයි. 

මෙතුමා උපන් වර්ෂය නිශ්චිතවම කිව නොහැකි නමුත් එය 1576 සහ 1581 අතර විය හැකි බව සභා ඉතිහාසමය සාක්ෂ්‍ය ඇසුරෙන් ප්‍රකාශ කළ හැකිය. ප්‍රංශයේ නිරිතදිග ප්‍රදේශයේ දිලිඳු පවුලක උපත ලැබූ මෙතුමා කුඩා අවධියේ සිටම තම "බුද්ධිමය ත්‍යාගය" පිළිබඳව දක්ෂතා ප්‍රකට කළ අතර වයස අවුරුදු 15 දී පමණ වන විට දේවධර්මය හදාරන ලදි. වර්ෂ 1600 දී මෙතුමා පූජාප්‍රසාදිවරයෙක් විය.

 1605 දී මුහුදු ගමනක් අතරවාරයේ දී තුර්කි මුහුදු කොල්ලකරුවන් විසින් මෙතුමාව අල්ලා ගෙන  වහල් සේවයට විකුණන ලදී. 1607 දක්වා වහල්සේවාවේ යෙදුණු මෙතුමා එම කාලය තුළ දී තම හිමිකරු ක්‍රිස්තියානි ආගමට හැරවූ අතර පසුව ඔහු සමඟ ටියුනීසියාවෙන් පලා ගියේය. 

මිය යන ගොවියෙකුගේ පාපොච්චාරණය අසා සිත වෙනස් කර ගත් මෙතුමා දුප්පතුන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කිරීමට ‌පෙළඹුණු අතර භෞතික වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් ඔවුන්ට උපකාර කිරීම සඳහා ආයතනයක් පිහිටුවීම ආරම්භ කළේය. 

මෙතුමා පූජක ධූරයේ තිබූ හිඟ බවට පිළියමක් ලෙස 1625 දී පූජකවරුන් සඳහා "වින්සෙන්තියානු පූජක" නිකාය ආරම්භ කරමින්  සුබාරංචිය දේශනා කිරීම හා ග්‍රාමීය ජනතාව විවිධ වෘත්තීන්ගේ පෝෂණය කිරීමේ උත්සාහයක නිරත විය. පසුව ඔහු දුප්පත්, අසනීප සහ සිරකරුවන් සමග කටයුතු කිරීම සම්බන්ධව ''දයාවේ සොයුරියන්" නිකාය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළේය. 

පසුව සාන්තුවරභාවයට පත් ලුවිස් ඩී මැරිලැක්ගේ මඟ පෙන්වීම යටතේ, මෙතුමා දුප්පතුන් අතර පුළුල් ලෙස බෙදා දීමට පරිත්‍යාගයන් එකතු කළේය. මෙම මුදල් අතහැර දමා ගිය දරුවන් සඳහා නිවාස පවත්වා ගෙන යාමට, වැඩිහිටියන් සඳහා වැඩිහිටි සත්කාර මධ්‍යස්ථානයක් සහ රැකියාවල නිරත වූ  දිළිඳුන් 40,000 කට නවාතැන් පහසුකම් ලබා දුන් නවාතැන් සංකීර්ණයක් වෙත යොමු කරන ලදි. මේවාට අමතරව මෙතුමා සරණාගතයින්ට උදව් කිරීමට සහ විදේශ රටවල වහල්භාවයට විකිණූ අය නිදහස් කර ගැනීමට විවිධ උත්සාහයන්හි නිරත විය.

තම ජීවිත කාලය තුළදී ලද ජයග්‍රහණ ලැබූ ප්‍රශංසා, කීර්ති නාමය සහ සබඳතා භාවිත කරමින් දුප්පතුන්ට උපකාර කිරීමට මෙතුමා සෑම විටම කටයුතු කරන ලදි. සභාවට එල්ලවූ මූලධර්මවාදී  ගැටලු නිරාකරණය කිරීමට මෙතුමා ඉදිරිපත් වූ අතර දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ විශ්වීයභාවය සහ දිව්‍ය සත්ප්‍රසාදය පිළිගැනීම පිළිබඳව ඉදිරිපත්ව ව තිබූ මිථ්‍යා මතයන්ට විරුද්ධව කටයුතු කරන ලදි. එලෙසම ප්‍රංශය තුළ දියත් කළ ආගමික ප්‍රතිසංස්කරණයන් සඳහා ද එතුමා සහය ලබා දෙමින් ක්‍රියාශිලීව ඒ්වාට සම්බන්ධ විය.

ශාන්ත වින්සන් ද පාවුලා මුනිතුමා 1660 සැප්තැම්බර් 27 දින මිය ගියේය.  1737 දී XII වන ක්ලෙමන්ට් පාප්තුමා මෙතුමාව සාන්තුවරයට ඔසවන ලදි. 1835 දී ප්‍රංශ ජාතික භාග්‍යවර ෆ්‍රෙඩ්රික් ඔසානම්තුමා දුප්පතුන්ට සහන ලබා දීම සඳහා කටයුතු කරන ගිහි කතෝලික සංවිධානයක් පිහිටුවනු ලබන අතර ශාන්ත වින්සෙන්ති පාවුලා සමිතිය ලෙස එය නම් කරන ලද්දේ සාන්ත වින්සෙන්ති පාවුලාතුමාට කරනු ලබන ‌ගෞරවයක් ලෙසය.  

Post a Comment

0 Comments