පළමුවන කියවීම සලමොන්ගේ ප්‍රඥාව 9:13-18B
13දේව අදහස් කුමන මිනිසකුට දත හැකි ද?
සමිඳුන්ගේ කැමැත්ත කා හට දැනගන්නට හැකි ද?
14මැරෙනසුලු මිනිසාගේ කල්පනා සීමිත ය;
අපේ අදහස් චපල ය.
15මන්ද, මැරෙනසුලු කය ආධ්‍යාත්මයට පීඩා කරයි.
පසින් සෑදුණු මේ ගත, සිතුවිලි ගහණ බුද්ධියට බරකි.
16මිහි පිට ඇති දේ ගැන අනුමානකොට සිතීම පවා දුෂ්කර ය.
අපට ලබාගත හැකි දේ දැනගැනීම දුෂ්කර ය.
එසේ තිබිය දී සගලොව ඇති දේ සොයාගත හැක්කේ කා හට ද?
17ඔබ ප්‍රඥාව නුදුන් සේක් නම්, ඔබ ඉහළින් ශුද්ධාත්මානුභාවය නොඑවූ සේක් නම් ඔබේ අදහස් ගැන කා හට ඉගෙනගත හැකි වේ ද?
18මෙලෙස ප්‍රඥාව මඟින් මිහි පිට අයගේ ගමන් මාර්ගය කෙළින් කරනු ලැබ ඔබට ප්‍රසන්න දේ ඔවුන්ට උගන්වා ගැළවීම ලබා දී ඇත.
පිළිතුරු ගීය ගීතාවලිය 90:3-4, 5-6, 12-13, 14 AND 17
පිළිතුර- සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
3ඔබ මිනිසා යළි දූවිල්ලට හරවන සේක, “මිනිසුනි, දූවිල්ලට හැරේවා” කියා ඔබ වදාරන සේක.
4 ඔබ ඇස් ඉදිරියෙහි වසර දහසක් ගෙවී ගිය ඊයේ දවස වැනි ය,
රැයේ එක යාමයක් වැනි ය.
පිළිතුර- සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
5සැඬ පහරකින් මෙන් ඔබ මිනිසුන් ගෙන යන සේක;
ඔව්හු සිහිනයක් මෙන් පහ වී යති;
උදේ දලු දැමූ තණ පත හා සමාන වන්නෝ ය.
6උදේ ඒවා සරුසාර ලෙස වැඩෙන්නේ ය, සවස් කල පර වී වියළී යන්නේ ය.
පිළිතුර- සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
12දිවි පෙවෙත කොතරම් ලුහුඬු ද කියා වටහා දුන මැනව.
මෙය මෙනෙහි කරන පිණිස නැණවත් සිතක් අපට දුන මැනව.
13සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව.
ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
පිළිතුර- සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
14උදයෙන් උදය ඔබේ ප්‍රේමයෙන් පිරී අපි අවදි වමු.
දිවිය පුරා තුටු පහටු සිතින් අපි ගී ගයමු.
පිළිතුර- සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
17අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා!
අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා!
අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
පිළිතුර- සමිඳාණන් වහන්ස, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.
දෙවන කියවීම පිලෙමොන් 9-10, 12-17
8මේ නිසා, කළ යුතු දේ පිළිබඳ ව ඔබට අණ කරන්නට ක්‍රිස්තුන් වහන්සේ තුළ මට නිදහස ඇති නමුත්, 9එසේ නොකර, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ තානාපතියෙකු වන, දැන් උන් වහන්සේ උදෙසා හිරකාරයෙකු ව සිටින, පාවුලු නම් මම, ඉතා ආදරයෙන් ඔබගෙන් ඉල්ලීමක් කරමි. 10 ඒ ඉල්ලීම නම්, මා හිරගෙදර සිටිය දී මාගේ දරුකමට පත් වූ ඔනේසිමස් ගැන ය.
12මාගේ හදවත වැනි ඔහු ඔබ වෙත ආපසු එවමි. 13සුබ අස්න නිසා මා හිර අඩස්සියේ සිටිය දී ඔබ වෙනුවෙන් මට උපස්ථාන කරන පිණිස ඔහු මා ළඟ නවතාගැනීමට මම කැමැත්තෙමි. 14එහෙත් ඔබේ අනුමැතිය නැති ව කිසිත් කරන්නට මම කැමැති නොවෙමි. මන්ද, ඔබේ උපකාරය බල කිරීමෙන් නොව, සිය කැමැත්තෙන් ම දෙන දෙයක් විය යුතු යි.
15සමහර විට ඔනේසිමස් ඔබෙන් ටික කලකට වෙන් වූයේ, නැවත ඔහු ඔබට නිත්‍ය ලෙස අයිති වන පිණිස විය හැකි ය. 16එහෙත් මෙතැන් පටන් ඔහු දාසයෙකු නොව, දාසකම ඉක්ම වූ ප්‍රේමණීය සහෝදරයෙකි. මට එසේ වන ඔහු මිනිසෙකු වශයෙන් ද සමිඳාණන් වහන්සේ තුළ ද ඔබට ඊටත් වඩා අගනා විය යුතු ය.
17ඔබ මා ගැන ඇදහිල්ල පිළිබඳ සහකාරයෙකු හැටියට සිතන්නෙහි නම්, ඔබ මා පිළිගන්නාක් මෙන් ඔනේසිමස් ද පිළිගන්න.
ආලේලෙූයියා ගීතාවලිය 119:135
135දයාවෙන් මා දෙස බැලුව මැනව;
ඔබේ පනත් මට ඉගැන්නුව මැනව.