꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 3 ✟✟☬༒☆꧂

 



 පළමුවන කියවීම 1 කොරින්ති 4:6B-15

එසේ කීවේ නීතිරීති කඩ නොකිරීමට ඔබ අපෙන් ඉගෙනගන්නා පිණිසත්, ඔබෙන් කවරෙකු වත් එක් කෙනෙකු ගැන ආඩම්බර වී අන් කෙනෙකු හෙළා නොදකින පිණිසත් ය. 7ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?
8අවශ්‍ය හැම දේ ම දැනට ම ඔබට ඇත; දැනට ම ඔබ ධනවත් ය. දැනට ම අප නැතුව ඔබ රජවරු ය. ඔබ සැබෑවට ම රජවරු නම් මම කෙතරම් කැමැති වෙම් ද? එවිට අපටත් ඔබ සමඟ රජවරුන් වෙන්න ඉඩ තිබිණි. 9මට පෙනෙන්නේ, දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් වන අප මරණයට නියම කළ අය මෙන්, අන්තිම තැන අපට දී තිබෙන බව යි. මෙලෙස අපි දේව දූතයන් හා මනුෂ්‍යයන් හා ඇතුළු මුළු ලොවට ම ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් වී සිටිමු. 10ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත. 11මේ මොහොත දක්වා ම අපි කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙමු. වැරහැලි අඳිමු; පහර ලබමු; ගෙයක්දොරක් අපට නැත. 12 දෑතින් වැඩ කර වෙහෙස මහන්සි වෙමු. නින්දා ලබන කල, අපි ආශීර්වාද කරමු; පීඩා ලබන කල, අපි ඉවසමු; 13අපකීර්තිය ලබන කල අපි මෙත් සිත් වඩමු. මේ දක්වා ම අපි කුණුකසළ මෙන් වී සිටිමු.
14මා මෙලෙස ලියන්නේ ඔබ ලජ්ජා කරන අදහසින් නොව, මාගේ ප්‍රියාදර දරුවන්ට මෙන් ඔබට අවවාද කරන පිණිස ය. 15කිතුනු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත්, පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද, සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබගේ පියා වූයේ මම ය. 

පිළිතුරු ගීය ගීතාවලිය 145:17-18, 19-20, 21

    පිළිතුර-  අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.

      
17 සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමාණන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.

18අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක.
අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
 පිළිතුර-  අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
19තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක.
ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
20සමිඳාණෝ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක.
එහෙත්, සියලු දුදනන් වනසාලන සේක.
 පිළිතුර-  අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
21මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
සව් සත සදාකල් ම එතුමාණන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!
 පිළිතුර-  අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක. අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.

    ආලේලෙූයියා ජොහන්    14:6

    ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.

   සුබාරංචිය ලූක්  6:1-5

   1  එක් සබත් දිනක ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් ගමන් කරන විට උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා අතින් පොඩි කර කෑ හ. 2එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ. 3 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “දාවිත් රජු තමන්ට ද සිය පිරිවරට ද බඩගිනි වූ විට කළ දේ, 4 එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ පූප කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 5උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.



Post a Comment

0 Comments