꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 19 ✟✟☬༒☆꧂

 


පළමුවන කියවීම හිතෝපදේශය 3:27-34

27ත්‍යාගශීලී වීමට හැකියාව තිබිය දී, උපකාර කිරීමට මැළි නොවන්න.
28හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
29ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී,
ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න.
30ඔබට වරදක් නොකරන කෙනෙකු සමඟ නිකරුණේ නඩුහබයට නොබසින්න.
31සාහසිකයෙකු ආදර්ශයට නොගන්න;
ඔවුන් අනුගමනය නොකරන්න;
32වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි;
එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.
33දුදනන්ගේ මන්දිර මත සමිඳුන්ගේ සාපය වැටෙනු ඇත;
සුදනන්ගේ නිවෙස්වලට එතුමාණෝ ආසිරි දෙන සේක.
34  නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක;
යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.

පිළිතුරු ගීය ගීතාවලිය 15:2-3A, 3BC-4AB, 5

පිළිතුර - සමිඳාණන් වහන්ස, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?

2නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.
3ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
පිළිතුර - සමිඳාණන් වහන්ස, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?
4ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය.
සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
පිළිතුර - සමිඳාණන් වහන්ස, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?
5ඔහු මුදල් පොළියට නොදෙයි;
නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය.
මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.
පිළිතුර - සමිඳාණන් වහන්ස, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?

ආලේලූයියා මතෙව් 5:16

එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස, ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබළවන්න.”

සුබාරංචිය ලූක් 8:16-18

16  “කිසිවෙකු පහනක් දල්වා බඳුනකින් වසන්නේ වත් යහනක් යට තබන්නේ වත් නැත; එහෙත්, ඇතුළු වන්නන්ට එළිය පෙනෙන පිණිස පහන්රුක උඩ තබති. 17 ඒ නිසා හෙළි කරනු නොලබන සැඟවුණු දෙයක් නැත; නොහොත් ප්‍රකාශයට පත් නොවන, හෙළි නොවන කිසි රහසක් ද නැත. 18 එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”

Post a Comment

0 Comments