꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 12 ✟✟☬༒☆꧂

 


පළමුවන කියවීම 1 කොරින්ති  11:17-26, 33

17මා මේ අනුශාසනා කරන විට මම ඔබට ප්‍රශංසා නොකරමි. මන්ද, ඔබේ රැස්වීම්වල දී යහපතට වඩා අයහපත සිදු වන බැවිනි. 18පළමු ව ඔබ සභාවක් වශයෙන් රැස් වන විට ඔබ අතර භේද තිබෙන බව ආරංචි වී ඇත. එය තරමක් දුරට විශ්වාස කරමි. 19ඔබ අතර අවංක අය කැපී පෙනෙන පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය. 20ඔබ සභාවක් වශයෙන් එක්රැස් වන විට, සමිඳාණන් වහන්සේගේ රාත්‍රි භෝජනය වැළඳීමක් සිදු නොවේ. 21මන්ද, ඔබ කන විට එකිනෙකා තම තමාගේ ම කෑම අනික් අයට ප්‍රථමයෙන් කෑදරකමින් කන්නේ ය. ඒ නිසා එක් කෙනෙකු බඩගිනි ව සිටින අතර තව කෙනෙක් වෙරි වෙන තෙක් බොන්නේ ය.
22ඇත්තට ම, ඔබට කන්නටත් බොන්නටත් ගෙදර දී බැරි ද? ඔබ දෙවියන් වහන්සේගේ සභාවට නිගා කරමින්, දිළිඳුන් ලජ්ජාවට පත් කරන්නහු ද? මා ඔබට කුමක් කියන්න ද? ඔබට ප්‍රශංසා කරම් ද? මේ ගැන නම් ප්‍රශංසා කළ නොහැකි ය.
23මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී පූපයක් රැගෙන, 24ස්තුති කොට, කඩා: “මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක. 25 එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: “මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක. 26ඔබ යම් පමණ වර මේ පූප අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.
33එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක්රැස් වන විට, අනුන් නොසලකා, කන්නට ඉක්මන් නොවන්න.

පිළිතුරු ගීය ගීතාවලිය 40:7-8A, 8B-9, 10, 17

පිළිතුර -  සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.

7එවිට මම, “මෙන්න, මම මෙහි ය”යි කීවෙමි.
“මා පිළිබඳ අණපනත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත.
8මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි,
පිළිතුර -  සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.
 ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.”
9සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි.
නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.
පිළිතුර -  සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.
10ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි;
ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි;

මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.
පිළිතුර -  සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.
17මම දුගියෙක්මි, දිළිඳෙක්මි, එහෙත්, හිමිතුමාණෝ මා සිහි කරන සේක.
ඔබ මාගේ පිළිසරණ ය;
ඔබ මාගේ මිදුම්කරු ය.
මාගේ දෙවියෙනි, පමා නොවී වැඩිය මැනව
පිළිතුර -  සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.

ආලේලූයියා ජොහන් 3:16

6“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

සුබාරංචිය ලූක් 7:1-10

1ජේසුස් වහන්සේ තමන් අදහස් කළ සියල්ල සෙනඟට කියා නිම කළ පසු කපර්ණවුමට ඇතුළු වූ සේක.
2එක් ශතාධිපතියකුගේ ඉතා හිතවත් දාසයෙක් රෝගී ව මරණාසන්න ව සිටියේ ය. 3ඔහු ජේසුස් වහන්සේ ගැන අසා, සිය දාසයා සුව කරන පිණිස වඩින මෙ‍න් උන් වහන්සේට අයැදිනු වස් ජුදෙව් ප්‍රජා මූලිකයන් උන් වහන්සේ වෙත යැවී ය. 4ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, 5“ඔබගෙන් ඒ වරය ලබන්න ඔහු සුදුස්සෙකි, ඔහු අපේ ජාතියට හිත ඇති කෙනෙකි; තවද අපේ ධර්මශාලාව තනා දුන්නේත් ඔහු ය” කියා, උන් වහන්සේගෙන් උදක් ම ඉල්ලා සිටියහ. 6එවිට ජේසුස් වහන්සේ ඔවුන් සමඟ වැඩිය සේක. උන් වහන්සේ ගෙදරට නුදුරු ව සිටිය දී ශතාධිපතියා මෙ‍සේ කියා උන් වහන්සේ වෙතට මිත්‍රයන් යැවී ය, “ස්වාමීනි, වෙහෙස නොවන්න, ඔබ මාගේ පියස්ස යටට වැඩමවාගැනීමට මම නොවටිමි. 7මා ඔබ වෙතට නොපැමිණියේ ඒ නිසා ය. එහෙත් වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙ‍හෙකරුවා සුවපත් වනු ඇත. 8මම ද බලය ලත් අය යටතෙහි සිටින මිනිසෙක්මි. මා යටතෙහි ද හේවායෝ සිටිති. එක් අයෙකුට යන්නැ යි මා කී කල, ඔහු යයි; තව අයෙකුට එන්නැ යි කී කල, ඔහු එයි; මාගේ දාසයාට මෙ‍ය කරව යි කී කල, ඔහු එය කරයි.” 9ජේසුස් වහන්සේ ඒ අසා, ඔහු ගැන මවිත වී, හැරී, තමන් පසුපස්සේ ආ පිරිසට; “මුළු ඉශ්රායෙල් ජනතාව අතර වත් මෙ‍තරම් මහා ඇදහිල්ලක් මා දැක නැතැ යි නුඹලාට කියමි”යි වදාළ සේක. 10පණිවුඩකාරයෝ හැරී ගිය කල, ඒ දාසයා සුවපත් ව සිටිනු දුටහ.



Post a Comment

0 Comments