꧁☆༒☬✟✟ 2022 මාර්තු 27 ✟✟☬༒☆꧂

 


                                2022 මාර්තු 27 ඉරිදා චතාරික කාලයේ හතරවන සතිය            


පළමු කියවීම  ‌   ජොෂුවා    5:9A, 10-12

9එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය.
10 ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. 11පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් පූප හා විළඳ අනුභව කළෝ ය. 12ඔවුන් දේශයේ ධාන්‍යයෙන් අනුභව කළ දාට පසු දින, මන්නා ආහාරය වැටීම නැවතිණි. ඉශ්රායෙල් ජනයාට ඊට පසු මන්නා නොලැබුණ හෙයින් ඔව්හු ඒ අවුරුද්දේ පටන් කානාන් දේශයේ භවභෝග අනුභව කළෝ ය.


පිළිතුරු ගීය         ගීතාවලිය  34:2-3, 4-5, 6-7

2මම එතුමාණන්ගේ ගුණ වර්ණනා කරමි.
නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
3මා සමඟ හිමිතුමාණන් වර්ණනා කරන්න;
අපි එක් වී එතුමාණන්ගේ නාමය පසසමු.
4මම හිමිතුමාණන් සොයා ගියෙමි;
එතුමාණෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූ සේක.
5එතුමාණෝ දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය.
ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.
6හිමිතුමාණන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය;
එතුමාණෝ ඔහුගේ බස් අසා,
සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
7හිමිතුමාණන්ගේ දූතයා දේව බය ඇති අය වට කර,
කඳවුරු බැඳ, ඔවුන් මුදා හරියි.

දෙවන කියවීම 2 කොරින්ති  5:17-21

17එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ. 18සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් ය. උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අප තමන් වහන්සේට සමඟි කරගෙන, සමඟි කිරීමේ සේවය අපට දුන් සේක. 19එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය.
20දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. 21දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.

සුබාරංචියට පෙර ලූක් 15:18

18මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි.

සුබාරංචිය  ලූක් 15:1-3, 11-32

1  එක් දිනක් සියලු අයකැමියෝ ද පව්කාරයෝ ද ජේසුස් වහන්සේට සවන් දෙන පිණිස උන් වහන්සේ සමීපයට ආහ. 2පරිසිවරු ද විනයධරයෝ ද කතා කොට, “මොහු පව්කාරයන් පිළිගෙන ඔවුන් සමඟ කන්නේ ය, බොන්නේ ය”යි මැසිවිලි කීවෝ ය.

11තවද උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝ ය. 12ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය. 13නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය. 14සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් ඇති වූයෙන් ඔහුට අග හිඟකම් දැනෙන්න විය. 15එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය. 16ඌරන් කන කරල්වලින් වුව ද තමාගේ කුස පුරවාගන්න ඔහු කැමැති විය. කිසිවෙක් ඔහුට කිසිවක් නොදුන්නෝ ය. 17එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ; මාගේ පියාගේ කුලීකාරයන් එපමණ දෙනෙකුට ඕනෑ පමණටත් වඩා කෑම තිබේ. එහෙත් මම මෙ‍හි සාගින්නෙන් නසිමි! 18මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි. 19මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එකෙකු මෙ‍න් මා තබාගත මැනවැ යි ඔහුට කියන්නෙමි’යි සිතා, 20පිටත් ව, තම පියා වෙත ගියේ ය. ඔහුගේ පියා දුරතියා ම ඔහු දැක, අනුකම්පාවෙන් ඇලළී දුව ගොස්, දෑතින් ඔහුගේ ගෙළ වැළඳ, සිපගත්තේ ය. 21එවිට පුත්‍රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය. 22එහෙත් පියා සිය මෙ‍හෙකරුවන් කැඳවා, ‘වහා හොඳ ම සළුව ගෙනැවිත් මොහුට අඳවන්න; මොහුගේ ඇඟිල්ලෙහි මුදුවක් පළඳවා පාදවල වහන් ද දමන්න; 23තර කළ වස්සා ගෙනැවිත් මරන්න; අපි කා බී ප්‍රීති ප්‍රමෝද වෙමු. 24මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.

25ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා, 26දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙ‍හි තේරුම කිමෙ‍ක් දැ’යි විචාළේ ය. 27ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය. 28එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙ‍න් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. 29ඔහු උත්තර දෙමින්, ‘මෙ‍පමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය. 30එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය. 31ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය. 32අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ ”යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.

Post a Comment

0 Comments