2022 පෙබරවාරි 26 සෙනසුරාද සාමාන්‍ය සමය හත්වන සතිය
පළමු කියවීම ජාකොබ් 5:13-20
13ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා. 14 ඔබ අතරෙන් යමෙක් රෝගී ව සිටින්නේ නම්, ඔහු සභා මූලිකයන් කැඳවාගනී වා. ඒ මූලිකයෝ සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ඔහු තෙලින් ආලේප කොට, ඔහු උදෙසා යාච්ඤා කරත් වා. 15එවිට ඇදහිල්ලෙන් පුදන යාච්ඤාවෙන් රෝගියාට සුවය ලැබේ. සමිඳාණන් වහන්සේ ඔහු නැඟිටුවනු ඇත. ඔහු පව් කර තිබේ නම්, ඒ පව් ඔහුට කමා කරනු ලැබේ. 16එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය; 17 දිවැසිවර එලියා අප හා සමාන ගති ඇති මනුෂ්‍යයෙකු වුව ද, වැසි නොවසින පිණිස ඔහු උනන්දුවෙන් යාච්ඤා කෙළේ ය. එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේ ය. 18 ඉන්පසු ඔහු නැවත යාච්ඤා කෙළේ ය. එවිට අහසින් වැසි වැස, පොළොවේ පලදාව ඇති විය.
19මාගේ සහෝදරයෙනි, ඔබ අතරෙන් යමෙකු සත්‍යයෙන් මුළා ව ගියොත්, වෙන තැනැත්තෙකු ඔහු සත්‍යයට හරවා ගත්තොත් ඉතා මැනවි. 20 නොමඟ ගිය පව්කරුවෙකු යළි සත්‍යයට හරවන තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් මුදා, පව් රාශියක් මකා හරින බව දැනගනී වා.
පිළිතුරු ගීය ගීතාවලිය 141:1-2, 3 AND 8
1සමිඳාණන් වහන්ස, මම ඔබෙන් අයැදින්නෙමි.
මා ළඟට විගසින් වැඩිය මැනව.
ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව.
2 මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව.
3සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව.
මාගේ දෙතොල රක්ෂා කළ මැනව.
8එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ.
මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි.
මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.
ආලේලූයියා මතෙව්11:25
25 ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
සුබාරංචිය මාක්10:13-16
13සමහරු තමන්ගේ ළදරුවන් පිට ජේසුස් වහන්සේගේ අත් තබවා ගන්නා පිණිස, උන් වහන්සේ වෙත ඔවුන් ගෙනාහ. එවිට ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. 14ජේසුස් වහන්සේ ඒ දැක ඉතා අමනාප වී, “ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍යය මෙබඳු අය සන්තක ය. 15 සැබැවින් ම මම ඔබට කියමි, යම් කෙනෙකු දෙවියන් වහන්සේගේ රාජ්‍යය ළදරුවෙකු සේ නොපිළිගත්තොත්, ඔහු කිසි සේත් එහි ඇතුළු නොවන්නේ ය”යි ඔවුන්ට වදාළ සේක. 16උන් වහන්සේ ඔවුන් තුරුළු කරගෙන ඔවුන් පිට අත් තබා ඔවුන්ට ආශීර්වාද කළ සේක.
0 Comments