꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 20 ✟✟☬༒☆꧂

 


                             2022 පෙබරවාරි 20 ඉරිදා සාමාන්‍ය සමය හත්වන සතිය            

පළමු කියවීම 1 සාමුවෙල් 26:2, 7-9, 12-13, 22-23

එවිට සාවුල් පිටත් වී, ඉශ්රායෙල් දේශයෙන් තෝරාගත් තුන්දහසක් පිරිවරා ශිප් පාළුකරයෙහි දාවිත් සොයන පිණිස එතැනට ගියේ ය. 7මෙසේ දාවිත් ද අබිෂයි ද රාත්‍රියෙහි සාවුල්ගේ කඳවුරට පිවිස, සාවුල් තමාගේ හෙල්ලය තම හිස ළඟ බිම සිටුවා කඳවුර මැද නිදාගෙන සිටිනු දුටුවෝ ය. අබ්නේර් සහ සෙනඟ ඔහු වටකර නිදා උන්හ. 8එවිට අබිෂයි දාවිත්ට කතා කොට, “දෙවියන් වහන්සේ අද ඔබේ සතුරා ඔබ අතට පාවා දුන් සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමට ම ඇණ දමන්නට මට අවසර දුන මැනව; ඔහුට පහර දෙකක් ගසන්නට වුවමනා නැතැ”යි දාවිත්ට කීවේ ය.

9දාවිත් පිළිතුරු දෙමින්, “ඔහු නොනසන්න; සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව සිය අත ඔසවා නිදොස් ව සිටින්නට හැකි කාට දැ”යි අබිෂයිට කීවේ ය.12මෙසේ දාවිත් සාවුල්ගේ හිස ළඟ තිබුණ හෙල්ලයත්, වතුර භාජනයත් ගෙන පිට වී ගියේ ය. එය කිසිවෙකු දුටුවේ වත්, දැනගත්තේ වත් නැත. කිසිවෙකු පිබිදුණේත් නැත; සමිඳාණන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත්කර තිබුණ බැවින් ඔව්හු සියල්ලෝ ම නිදාගෙන සිටියහ.
13එවිට දාවිත් අනික් පැත්තට ගොස් කන්ද මුදුනේ දුරින් සිටියේ ය. දෙගොල්ල අතරේ මහා පරතරයක් විය. 22දාවිත් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “රජ්ජුරුවන්ගේ හෙල්ලය මෙන්න. තරුණයන්-ගෙන් එක් කෙනෙක් මෙහි ඇවිත් ඒක ගෙන ගියා වේ. 23සමිඳාණන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත්, මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව අත ඔසවන්නට කැමැති නොවීමි. 

පිළිතුරු ගීය ගීතාවලිය 103:1-2, 3-4, 8, 10, 12-13

1මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න;
හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.
2මාගේ සිත, සමිඳුන් පසසන්න;
එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක;
මාගේ සියලු රෝග සුව කරන සේක.
4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක;
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය;
නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
9එතුමාණෝ නිතර තරවටු නොකරන සේක;
සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක.
10එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;
අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
12නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.
13පියෙකු දරුවන්ට අනුකම්පා කරන සේ සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට අනුකම්පා කරන සේක.

දෙවන කියවීම 1 කොරින්ති 15:45-49

45 එසේ ම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය.” අන්තිම ආදම් ජීවනදායක ආත්මයාණන් කෙනෙක් වූ හ. 46එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආත්මික දේ නොව, ස්වාභාවික දේ ය. පසුව ආත්මික දේ පැමිණේ. 47පළමු මිනිසා භූමියෙන් ය; ඔහු භෞමික ය; දෙවෙනි මිනිසා ස්වර්ගයෙන් ය; (ඔහු ස්වර්ගීක ය), 48භෞමික තැනැත්තා යම් සේ ද භෞමික වූවෝත් එසේ ම ය. ස්වර්ගීක තැනැත්තා යම් සේ ද, ස්වර්ගීක වූවෝත් එසේ ම ය. 49අපි භෞමික තැනැත්තාගේ ස්වරූපය දරන්නා සේ ම, ස්වර්ගීක තැනැත්තාගේ ස්වරූපය ද දරන්නෙමු.

ආලේලූයියා ජොහන් 13:34

34 මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.

සුබාරංචිය ලූක් 6:27-38

27“මට සවන් දෙන ඔබට මෙ‍ය කියමි: ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න; 28ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න; ඔබට ගැරහුම් කරන්නන් උදෙසා යාච්ඤා කරන්න; 29ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනික් කම්මුල පාන්න; ඔබේ උතුරු සළුව පැහැර ගන්නාගෙන් ඔබේ අඳනය වුව ද වළක්වා නොගන්න. 30ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. 31 අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.
32“ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. 33ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා එසේ කරති. 34ඔබ නැවත ලබන බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම්, ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේ ද? පව්කාරයෝ පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති. 35එහෙත්, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, යහපත කරන්න, ආපසු ලබන බලාපොරොත්තුවක් නැති ව ම ණයට දෙන්න. එවිට ඔබේ පල විපාක මහත් වේ; ඔබ පරමෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහු ය. මන්ද, කෙළෙහි ගුණ නොදත් අයට ද දුෂ්ටයන්ට ද උන් වහන්සේ කාරුණික ය. 36ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”
37“අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ. 38අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.

Post a Comment

0 Comments