2022 පෙබරවාරි 15 අඟහරුවාදා සාමාන්‍ය සමය හයවන සතිය
පළමු කියවීම ජාකොබ් 1:12-18
12කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය. 13පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත. 14ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය. 15මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.
16මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න. 17සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය. 18උන් වහන්සේ මැවූ සත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
පිළිතුරු ගීය ගීතාවලිය 94:12-13A, 14-15, 18-19
12සමිඳුනි, ඔබ උවදෙස් දුන් මිනිසා භාග්‍යවන්ත ය;
ඔබේ අණපනත් ඔබ ඉගැන්වූ තැනැත්තා භාග්‍යවන්ත ය.
13ඔහුගේ විපත්ති දිනවලට පසු ඔහුට ඔබ නිදහස දෙන සේක;
එසේ වන්නේ, දුදනන් හට වළක් කණින තුරු ය.
14සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක;
තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.
15අධිකරණයෙන් සාධාරණ ලෙස නැවත තීන්දුව එන්නේ ය;
එවිට දැහැමි සිත් ඇති සියල්ලෝ එය අනුගමනය කරන්නෝ ය.
18“මාගේ පාද ලිස්සන්නේ ය”යි මා කී කල සමිඳුනි, එවිට ඔබේ තිර පෙම මාගේ ආධාරය වූයේ ය.
19මා තුළ කරදර හා කණස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල වූ සේක;
ඔබ මාගේ සිත ප්‍රීතිමත් කළ සේක.
ආලේලූයියා ජොහන් 14:23
“යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක.
සුබාරංචිය මාක් 8:14-21
14රොටි ගෙන යන්න ශ්‍රාවකයන්ට අමතක විය. ඔරුවේ ඔවුන් ළඟ එක රොටියක් මිස වෙන කිසිවක් නො තිබිණි. 15 උන් වහන්සේ කතා කොට, “සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. 16“එසේ කීවේ අප ළඟ රොටි නැති නිසා වන්න ඇතැ”යි ඔව්හු තම තමන් අතර කතා කරගත්හ. 17ජේසුස් වහන්සේ එපවත් දැන, “රොටි නැති නිසා ඔබ අතරේ විවාද කරන්නේ මන් ද? ඔබට තව ම තේරුම් පැහැදුම් නැද් ද? ඔබේ සිතත් අඳුරු වී ඇද් ද? 18 ඇස් තිබියදීත් ඔබට පෙනෙන්නේ නැද් ද? කන් තිබියදීත් ඔබට ඇසෙන්නේ නැද් ද? ඔබට මතක නැද් ද? 19මා රොටි පහ කඩා පන්දහසකට දුන් විට ඉතිරි කැබලිවලින් ඔබ කූඩා කීයක් පුරවා ගත්තහු දැ”යි ඇසූ සේක. “දොළොසකැ”යි ඔව්හු කී හ. 20“රොටි සත හාරදහසක් අතර බෙදා දුන් විට කැබලිවලින් කූඩා කීයක් පුරවාගත්තහු දැ”යි ඇසූ සේක. “සතක්” යයි ඔව්හු කී හ. 21“තවමත් ඔබට තේරුම් ගියේ නැද්දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක.

0 Comments