2022 පෙබරවාරි 1 අගහරුවාදා සාමාන්‍ය සමය හතරවන සතිය
පළමු කියවීම 2 සාමුවෙල්18:9-10, 14B, 24-25A, 30–19:3
9අබ්සලොම් තම අශ්වතරයා පිට නැගී යද්දී දාවිත්ගේ සේවකයන්ට මුණගැසුණේය. අශ්වතරයා මහත් අලෝන ගසක ඝන ශාඛා යටින් යද්දී ඔහුගේ හිස අලෝන ගසට අසුවී ඔහු අහසටත් පොළොවටත් අතරේ එල්ලී උන්නේය; ඔහු නැගීසිටි අශ්වතරයා යන්ට ගියේය. 10එක්තරා මනුෂ්‍යයෙක් ඒ දැක යෝවාබ්ට දන්වමින්, අබ්සලොම් අලෝන ගසක එල්ලී ඉන්නවා දුටිමියි කීවේය.
4එවිට යෝවාබ්: මට මෙසේ නුඹ සමඟ ප්‍රමාදවෙවී ඉන්ට බැරිය කියා හෙල්ල තුනක් අතින් ගෙන අබ්සලොම් අලෝන ගස මැද පණ ඇතුව සිටිද්දීම එයින් ඔහුගේ හෘදයට ඇන්නේය.
24දාවිත් දොරටු දෙකට අතරේ ඉඳගන උන්නේය. මුරකාරයා පවුරේ දොරටුව උඩ තිබුණ පියස්සට ගියේය, ඔහු ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් තනියම දුවගන එනවා දුටුවේය. 25මුරකාරයා මොරගසා එපවත් රජුට කීය. ඔහු තනියම එන්නේ නම් ආරංචි ගෙනෙන්නේයයි රජ කීවේය. ඔහු ඉක්මනට ඇවිත් ළංවුණේය.
30පැත්තකටවී මෙහි සිටින්නැයි රජ ඔහුට කීය. ඔහු පැත්තකට වී සිටියේය. 31එවිට කූශියයා ආවේය. කූශියයා කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට ආරංචි තිබේ. මක්නිසාද ඔබට විරුද්ධව නැගුටුණු සියල්ලන්ගෙන් ස්වාමීන්වහන්සේ අද ඔබ උදෙසා පළිගත්සේකැයි කීවේය. 32එවිට රජ: අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි කූශියයාගෙන් ඇසුවේය. කූශියයාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරෝද ඔබට අන්තරාකරන්ට ඔබට විරුද්ධව නැගිටින සියල්ලෝද ඒ යෞවනයා මෙන් වෙත්වයි උත්තරදුන්නේය. 33එවිට රජ බොහෝසෙයින් කම්පාවී, දොරටුවේ උඩුමහලට නැගී ගොස් ඇඬුවේය. ඔහු යමින්ම: අහෝ, මාගේ පුත්‍රවූ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රවූ අබ්සලොම්! නුඹ වෙනුවට මා මැරුණා නම් යහපත, අහෝ, අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රයයි කීවේය.
1තවද රජ අබ්සලොම් ගැන අඬා වැලපෙන්නේය කියා යෝවාබ්ට දන්වන ලද්දේය. 2රජ තමාගේ පුත්‍රයා ගැන ශෝකවන්නේයයි ඒ දවසේ සෙනඟට සැලවුණු බැවින් ඒ දවසේ ඇතිවූ ජය මුළු සෙනඟට වැලපීමක් වුණේය. 3මක්නිසාද යුද්ධයේදී පලායන සෙනඟ ලජ්ජා සහිතව හොරෙන් එන්නාක් මෙන්, ඒ දවසේදී සෙනඟ හොරෙන් නුවරට ඇතුල්වුණෝය.
පිළිතුරු ගීය ගීතාවලිය86:1-2, 3-4, 5-6
1 ස්වාමිනි, ඔබගේ කන නමා මට උත්තරදුන මැනව;
මක්නිසාද මම දුප්පත්මි, දිළින්දෙමි.
2මාගේ ප්‍රාණය රක්ෂාකළ මැනව;
මක්නිසාද මම භක්තිවන්තයෙමි.
මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකරන ඔබගේ මෙහෙකරුවා ගැළෙවුව මැනව.
3ස්වාමිනි, දවස මුළුල්ලේම ඔබට හඬා සිටින බැවින් මට කරුණාකළ මැනව.
4ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව.
5මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
6ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව;
මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
ආලේලූයියා මතෙව්8:17
17 මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
සුබාරංචිය මාක් 5:21-43
21යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එගොඩවූ කල මහත් සමූහයක් උන්වහන්සේ ළඟට රැස්වූවෝය. උන්වහන්සේද මුහුද ළඟ සිටිසේක. 22එකල සිනගෝගයේ මුලාදෑනීන්ගෙන් කෙනෙක්වූ යායිරස් නැමැත්තෙක් ඇවිත් උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: 23මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය. 24උන්වහන්සේ ඔහු සමඟ වැඩියසේක; මහත් සමූහයක්ද උන්වහන්සේට තෙරපෙමින් උන්වහන්සේ අනුව ගියෝය.
25දොළොස් අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක් 26නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය. 27ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය. 28මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය. 29එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය. 30එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක. 31උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය. 32ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක. 33නුමුත් ස්ත්‍රී තමාට සිදුවූ දේ දැන භයවී වෙවුලමින්, ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය. 34උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.
35උන්වහන්සේ කථාකරද්දීම සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙදරින් සමහරු ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට තවත් කුමට වෙහෙසකරන්නෙහිදැයි කීවෝය. 36නුමුත් යේසුස්වහන්සේ ඒ කීම නොසලකා, සිනගෝගයේ මුලාදෑනියාට කථාකොට: භයනොවී ඇදහිල්ලෙන්ම සිටින්නැයි ඔහුට කීසේක. 37උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරවූ යොහන්ද හැර වෙන කාටවත් තමන් සමඟ එන්ට නොදී, 38සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙට ආසේක. එවිට උන්වහන්සේ කෝලාහලයක්ද බොහෝසේ හඬාවැලපෙන්නවුන්ද බලා, 39ගෙට ඇතුල්ව: නුඹලා ඝෝෂාකරන්නෙත් හඬන්නෙත් මක්නිසාද? දරුවා මැරිලා නොවේ, නිදන්නීයයි ඔවුන්ට කීසේක. 40එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. නුමුත් උන්වහන්සේ සියල්ලන් බැහැරකොට, දරුවාගේ පියාද මවුද තමන්වහන්සේ සමඟ සිටියවුන්ද කැඳවාගෙන, දරුවා හුන් තැනට ගොස්, 41ඇගේ අත අල්ලා: තලීතාකූමි කියා ඈට කීසේක; එහි අර්ථය–යෞවනිය, නැගිටින්නැයි නුඹට කියමි යනුය. 42දොළොස් අවුරුදු වයස්වූ ඒ යෞවනී එකෙණෙහිම නැගිට ඇවිද්දාය. එකෙණෙහිම ඔව්හු මහත් විස්මයකින් විස්මිත වූවෝය. 43උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.
0 Comments