පළමු කියවීම ( 1 ජොහන් 5:14-21)
14උන් වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන
නිසැකකම නම්, අප උන් වහන්සේගේ කැමැත්ත ලෙස යමක්
ඉල්ලුවොත්, උන් වහන්සේ අපේ ඉල්ලීම අසන බව ය. 15ඒ ඉල්ලීමට උන් වහන්සේ
සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන
බව අපි දනිමු.
16යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක්
කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේ වා! එවිට, එය මරණයට නොපමුණුවන පාපයක් නම්, දෙවියන් වහන්සේ
ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේ ය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යයි
මම නොකියමි. 17සියලු අදමිටුකම් පව් ය. එහෙත් සියලු ම පාප මරණයට පමුණුවන පව් නොවේ.
18දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු
පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන
සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
19අප දෙවියන් වහන්සේට අයිති බවත්, මුළු ලෝකය නපුරාට යටත් බවත් දනිමු. 20තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක. 21මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න.
පිළිතුරු ගීය (ගීතාවලිය 149:1-6, 9)
1සමිඳාණන් වහන්සේ පසසන්න.
සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමාණන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
3එතුමාණන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමාණන්ට පසස් ගී ගයත් වා!
4සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
5සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා!
මුළු රෑ එතුමාණෝ නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
6දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
9ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය;
මේ ගෞරවය එතුමාණන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
ආලේලූයියා (මතෙව් 4,16)
22ඉන්පසු ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්
කැටුව ජුදා දේශයට පැමිණි සේක. එහි උන් වහන්සේ ඔවුන් සමඟ නැවතී සිට බව්තීස්ම-ස්නාපනය
කළ සේක. 23ජොහන් ද සාලිම් සමීපයෙහි ඒනොන් යන ස්ථානයෙහි ජලය අධික ව තිබුණු
බැවින් බව්තීස්ම-ස්නාපනය කරමින් සිටියේ ය. මිනිස්සු පැමිණ බව්තීස්ම-ස්නාපනය ලැබූ
හ. 24 මෙය සිදු වූයේ
ජොහන් හිර අඩස්සි කරනු ලැබීමට පෙර ය.
25එකල ජොහන්ගේ ගෝලයන් හා ජුදෙව්වෙකු අතර
පවිත්‍ර වීම ගැන වාදයක් හටගති. 26එවිට ඔව්හු ජොහන් වෙතට පැමිණ, “ඇදුරිඳුනි, ජොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූ ද ඔබ විසින් සාක්ෂි දරනු ලැබුවාවූ
ද තැනැත්තේ ම බව්තීස්ම-ස්නාපනය කරයි. සියල්ලෝ ම ඔහු වෙතට යති”යි කී හ. 27ජොහන් පිළිතුරු
දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො
හැකි ය. 28 මම ක්‍රිස්තුස්
නොවෙමි; එහෙත්, ‘මම උන් වහන්සේට ප්‍රථමයෙන්
එවන ලද්දෙමි’යි මා කී බවට ඔබ ම සාක්ෂිකාරයෝ ය. 29මනාලිය අයිති මනාලයාට ය, මනාලයා ළඟ සිට සවන් දෙන ඔහුගේ මිත්‍රයා, මනාලයාගේ කටහඬ අසා අතිශයින් ප්‍රමුදිත වෙයි. මේ මාගේ ප්‍රීතිය පිරී
ඇත්තේ එබැවිනි. 30උන් වහන්සේගේ නැඟීමත්, මාගේ බැසීමත්
සිදුවිය යුතු ය.”

0 Comments