2022 ජනවාරි 31 සඳුදා සාමාන්‍ය සමය හතරවන සතිය
පළමු කියවීම 2 සාමුවෙල්15:13-14, 30; 16:5-13
13පණිවුඩකාරයෙක් දාවිත් කරා පැමිණ, “ඉශ්රායෙල් මිනිසුන්ගේ සිත් අබ්සලොම් දෙසට ඇදී ගොස් ඇතැ”යි කී ය.
14එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නොදෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.30
දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ. 5දාවිත් බහුරීම් නගරයට පැමිණි කල, සාවුල්ගේ කුල පරම්පරාවට අයිති වූ ගේරාගේ පුත් ෂිමෙයි නම් මිනිසෙක් එතැනින් පිටත් වී, දෙස් කිය කියා යමින්, 6දාවිත්ටත්, දාවිත් රජුගේ සියලු සේවකයන්ටත් ගල් ගැසී ය. සියලු සෙනඟ ද සියලු බලවන්තයෝ ද දාවිත්ගේ දකුණු පසෙහි ද වම් පසෙහි ද සිටියෝ ය. 7ෂිමෙයි දෙස් තබමින්, “මිනීමරුව, දුර්ජනය, පලා යව, පලා යව. 8සාවුල් වෙනුවට රජ වූ ඔබ පිට, සමිඳාණන් වහන්සේ සාවුල්ගේ පවුලේ සියල්ලන්ගේ ලේ වැගිරීමේ දුර්විපාකය පමුණුවා, ඔබේ පුත් අබ්සලොම්ට රජකම භාර දුන් සේක. ඔන්න, ඔබ විපත්තියට අසු වී සිටින්නෙහි ය. මන්ද, ඔබ මිනීමරුවෙක් ය”යි රජුට කී ය.
9එවිට ශෙරුයාගේ පුත් අබිෂයි කතා කොට, “මෙවැනි බලු කුණක්, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට දෙස් කියන්නේ මන් ද? ගොස් ඔහුගේ හිස ගසා දමන්නට මට අවසර ලැබේවා”යි කී ය.
10රජ ද පිළිතුරු දෙමින්, “ශෙරුයාගේ පුත්‍රයෙනි, මෙය මට වත්, ඔබට වත් අයිති වැඩක් නොවේ. ඔහු දෙස් කීවා වේ! ‘දාවිත්ට දෙස් කියාපන්නැ’යි ඔහුට කීවේ සමිඳාණන් වහන්සේ නම්, ‘ඔබ මෙසේ කෙළේ මන්දැ’යි කියන්නට පුළුවන් කවරෙකුට දැ”යි ඇසී ය. 11තවද, දාවිත් රජ අබිෂයිටත්, තමාගේ සියලු සේවකයන්ටත් කතා කොට, “බලන්න, මට දාව උපන් මාගේ ම පුත්‍රයා මා නසන්නට සොයන්නේ නම්, ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්ජමින් ජාතිකයාට දැන් එසේ කරන්නට බැරි ද? ඔහු නිකම් සිටියා වේ, දෙස් කීවා වේ; මන්ද, එලෙස කරන්නට සමිඳාණන් වහන්සේ වදාළ සේක. 12සමහර විට මට කරන ලද අයුක්තිය දෙස සමිඳාණන් වහන්සේ බලා, අද දවසේ ඔහුගේ දෙස් කීම වෙනුවට මට යහපත කරනු ඇතැ”යි කී ය. 13මෙසේ දාවිත් හා ඔහුගේ මිනිසුන් මාර්ගයේ යද්දී, ෂිමෙයි ඔහුට ඉදිරිපිටින් කන්දේ පැත්තකින් යනුයේ, දෙස් කියමින් ද ඔහුට ගල් ගසමින් ද පස් විසි කරමින් ද ගියේ ය
පිළිතුරු ගීය ගීතාවලිය3:2-3, 4-5, 6-7
2“දෙවි පිහිටක් ඔහුට නැතැ”යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය.
3සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න.
මා මහිමය ඔබ ය;
ඔබ මා දිරි ගන්වන සේක.
4මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි;
එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
5මම වැදහෙව නිදාගනිමි;
යළි අවදි වෙමි.
මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
6දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
7සමිඳුනි, වැඩිය මැනව;
දෙවිඳුනි, මා මුදාලුව මැනව.
මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක;
දුදනන්ගේ දළ බිඳලන සේක.
ආලේලූයියා ලූක්7:16
16 එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
සුබාරංචිය මාක් 5:1-20
1ඔව්හු මුහුදින් එතෙර ගෙරසීනයන්ගේ රටට පැමිණියහ. 2උන් වහන්සේ ඔරුවෙන් බැස ආ කෙණෙහි ම අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් සොහොන් ගුහා අතරින් නික්ම එනු උන් වහන්සේට හමු විය. 3ඔහු වාසය කෙළේ සොහොන් ගුහාවල ය. කිසිවෙකුට ඔහු කිසි සේත් දමනය කළ නොහැකි විය; යදමකින් වත් එය කළ නොහැකි විය. 4බොහෝ වර විලංගුවලින් ද යදම්වලින් ද බඳිනු ලැබූ නමුත්, ඔහු යදම් කැබලි කොට කඩා, විලංගු සුණු විසුණු කොට දැමී ය. ඔහු මැඩලීමට තරම් ශක්තිය කිසිවෙකුට නො වී ය. 5ඔහු දිවා රෑ දෙක්හි ම, කෑකෝගසමින් ද ගල්වලින් කපාගනිමින් ද සොහොන් ගුහා අතරත්, කඳු බෑවුම්වලත් සිටියේ ය.
6ඔහු ජේසුස් වහන්සේ වඩිනු දුරතියා දැක, දිව අවුත්, පසඟ පිහිටුවා වැඳ, 7මහහඬින් මොරගා, “පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය. 8එසේ කීවේ “අශුද්ධාත්මය, මේ මිනිසාගෙන් දුරුවෙව”යි උන් වහන්සේ ඔහුට කී බැවිනි. 9“නුඹේ නම කුමක් දැ”යි උන් වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. “මගේ නම සේනා ය, අපි සේනාංකයක් වම්හ”යි ඔහු කී ය. 10තමන් රටෙන් පිට නොකරන ලෙස ඔහු උන් වහන්සේගෙන් උදක් ම අයැද සිටියේ ය.
11එතැන කන්ද අද්දර මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියෝ ය. 12අශුද්ධාත්මයෝ ද, “ඌරන්ට වැහෙන පිණිස අප උන් මැදට යැවුව මැනවැ”යි අයැද සිටියහ. 13උන් වහන්සේ අවසර දුන් සේක. අශුද්ධාත්මයෝ නික්ම අවුත් ඌරන්ට වැහුණෝ ය. දෙ දහසක් පමණ වූ ඒ ඌරු රැළ ප්‍රපාතයෙන් පහත මුහුදට වේගයෙන් දිව ගොස් මුහුදේ ගිලී මළෝ ය.
14ඌරු ගොවුවෝ පලා ගොස්, නුවර ද ගම්මානයේ ද එපවත් පතළ කළෝ ය. එවිට සිදුවූ දේ කුමක් දැ යි බලන පිණිස මිනිස්සු නික්ම ආහ. 15ඔව්හු ජේසුස් වහන්සේ වෙත පැමිණ, අශුද්ධාත්මාවේශ වූ මිනිසා, එනම්, දුෂ්ටාත්ම සේනාංකය වැහී සිටි මිනිසා දැන් වස්ත්‍ර හැඳ හොඳ සිහිකල්පනාවෙන් හිඳිනු දැක භීතියට පත් වූ හ. 16එය සියැසින් දුටු අය අශුද්ධාත්මාවේශ වූ මනුෂ්‍යයාට සිදුවූ දෙය ද ඌරන් පිළිබඳ සිද්ධිය ද ඔවුන්ට කියා දුන්හ. 17ඔව්හු ද සිය දේශ සීමාවලින් පිට වී යන මෙන් උන් වහන්සේගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෝ ය.
18උන් වහන්සේ ඔරුවට නඟිද්දී, අශුද්ධාත්මාවේශ ව සිටි මිනිසා තමාටත් උන් වහන්සේ සමඟ යාමට අවසර දෙන මෙන් ආයාචනා කෙළේ ය. 19උන් වහන්සේ ඊට අවසර නුදුන් සේක. “එහෙත්, ඔබ ගෙදර නෑ මිතුරන් වෙත ගොස්, සමිඳාණන් වහන්සේ ඔබට කොතරම් මහත් දේ කළ සේක් ද කොතරම් අනුකම්පාව පෙන්වූ සේක් ද කියා ඔවුන්ට දන්වන්නැ”යි වදාළ සේක. 20ඔහු නික්ම ගොස්, ජේසුස් වහන්සේ තමාට කොතරම් මහත් දේ කළ සේක් දැ යි දෙකපොලිසෙහි ප්‍රසිද්ධ කරන්න වුනි. සියල්ලෝ ම විස්මිත වූ හ.

0 Comments