꧁☆༒☬✟✟ 2022 ජනවාරි 30 ✟✟☬༒☆꧂


                                2022 ජනවාරි 30 ඉරිදා සාමාන්‍ය සමය හතරවන සතිය              

පළමු කියවීම ජෙරමියා1:4-5, 17-19

4සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
5“මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි.
නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි;
ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.” 
17ඒ නිසා, නුඹ ධෛර්යවත් වී ගොස් මා නුඹට අණ කරන සියල්ල ඔවුන්ට කියන්න. ඔවුන් ඉදිරියෙහි දී මා නුඹ නොකලඹන පිණිස දැන් ඔවුන් ගැන නොකැළඹී සිටින්න. 18මෙන්න, මුළු දේශයට විරුද්ධ ව ද ජුදාහි රජවරුන්ටත්, අධිපතීන්ටත්, පූජකයන්ටත්, දේශයෙහි සෙනඟටත් විරුද්ධ ව ද අද නුඹ සුරක්ෂිත නගරයක් ද යකඩ කුලුණක් ද ලෝකඩ පවුරක් ද මෙන් ශක්තිමත් කෙළෙමි. මන්ද, මම නුඹ සමඟ සිටින්නේමි. 19නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

පිළිතුරු ගීය ගීතාවලිය71:1-2, 3-4, 5-6, 15-17

1අහෝ සමිඳාණන් වහන්ස!
සරණ පතා මම ඔබ වෙත පැමිණියෙමි.
කිසි කලක මා ලජ්ජාවට පත් නොකළ මැනව!
2ඔබේ සාධාරණකම නිසා මට පිහිට වී මා මුදාලුව මැනව!
මට සවන් දී මා ගැළෙවුව මැනව!
3ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව!
මා මුදාලන බලකොටුවක් වුව මැනව!
4මාගේ දෙවිඳුනි!
දුෂ්ටයන්ගේ බලයෙන් මා මුදාගත මැනව;
අපරාධකරුගේ ද දුදනාගේ ද ග්‍රහණයෙන් මා මිදුව මැනව!
5මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක.
සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.
6උපන් දා සිට ඔබ මට පිහිට වූ සේක;
මවු කුසේ සිට ඔබ මා රැකගත් සේක.
මම ඔබ ගැන නිරතුරු ප්‍රශංසා කරන්නෙමි.
15දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ද ඔබේ විමුක්තිදායක ක්‍රියා ද මා මුවින් ප්‍රකාශ කරමි.
මන්ද, මම ඒවායේ ප්‍රමාණය නොදන්නෙමි.
16දෙවි සමිඳුනි, ඔබේ බල මහිමය මම පසසන්නෙමි, ඔබේ ම, එසේ ය ඔබේ ම යහපත්කම මම ප්‍රකාශ කරන්නෙමි.
17අනේ දෙවිඳුනි!
මාගේ තරුණ වියේ සිට ඔබ මට උගන්වා වදාළ සේක.
මම අද දක්වා ඔබේ පුදුමාකාර ක්‍රියා වර්ණනා කෙළෙමි.

දෙවන කියවීම 1 කොරින්ති12:31-13:13 

31 මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශා වන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි. මා මිනිසුන්ගේ ද දේව දූතයන්ගේ ද භාෂාවලින් කතා කරතත් ප්‍රේමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝණ්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි.

2  දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලු අබිරහස් ගැන අවබෝධය ද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
3දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්, ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත.
4ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය;
ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත;
5ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි;
6ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.
7ප්‍රේමය, සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.
8ප්‍රේමය සදාතනික ය.
දිවැස් වැකි වුව ද පහ ව යන්නේ ය;
විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය;
ඥානය වුව ද නැති වන්නේ ය.
9මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය, දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.
10සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය.
11බාල වියෙහි දී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි; බාලයෙකු මෙන් සිතුවෙමි; බාලයෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත් හැර සිටිමි. 12දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.
13ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහට ම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය ය.

ආලේලූයියා ලූක්4:18

18  “සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක.
වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, 19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”

සුබාරංචිය ලූක් 4:21-30

21උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, “අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක. 22සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ. 23එවිට උන් වහන්සේ කතා කොට, “ ‘වෙද තුමාණෙනි, ඔබ, ඔබම සුව කරගන්න’ යන ප්‍රස්තා පිරුළ ඔබ නිසැක ව ම මට ගෙන හැර පා, 24 ‘කපර්ණවුමෙ‍හි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙ‍හිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. 25 සහතික ලෙස මම ඔබට කියමි, එලියාගේ කාලයේ දී තුන් අවුරුදු සමසක් මුළුල්ලෙහි අහස පියවී, රට පුරා දැඩි සාගතයක් පැවති අතර, 26 ඉශ්රායෙල් රටේ බොහෝ වැන්දඹුවන් සිටි නමුත්, සීදොන් පළාතෙහි ශාරෙපත්හි වැන්දඹුව වෙත මිස අන් කිසිවෙකු වෙතට එලියා නොයවන ලද්දේ ය. 27 දිවැසිවර එලිෂාගේ කාලයේ දී ඉශ්රායෙල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත්, සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලැබී ය”යි වදාළ සේක. 28ධර්මශාලාවෙහි සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ට වූ හ. 29ඔව්හු වහා නැඟිට උන් වහන්සේ නුවරින් පිටතට නෙරපා, ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනඟා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. 30එහෙත් උන් වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගිය සේක.





Post a Comment

0 Comments