꧁☆༒☬✟✟ 2022 ජනවාරි 27 ✟✟☬༒☆꧂


                                2022 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සාමාන්‍ය සමය තෙවන සතිය              

පළමු කියවීම 2 සාමුවෙල් 7:18-19, 24-29

18එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හිඳගෙන, මෙසේ යැදී ය: “දෙවි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක් ද? මාගේ වංශය කුමක් ද? 19එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.
 24මෙසේ ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්, සදහට ම ඔබට සෙනඟක් වශයෙන් ස්ථිර කරගෙන, සමිඳුනි ඔබ ම ඔවුන්ගේ දෙවියන් වහන්සේ ව සිටින සේක.
25“ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබේ මෙහෙකරුවා හා ඔහුගේ වංශය ගැනත් ඔබ වදාළ වචන සදහට ම ස්ථිර කොට, ඔබ වදාළ ලෙස කළ මැනව. 26‘ඉශ්රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේ ව සිටින්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය’යි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහට පසසනු ලැබේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව තිබේ. 27මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබ කතා කොට, ‘මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි’යි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාච්ඤාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේ ය.
28“ඉතින් දෙවි ස්වාමීන් වහන්ස, ඔබ ම දෙවියන් වහන්සේ ය, ඔබේ වචනය සැබෑ ම ය, ඔබ ද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. 29එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”
පිළිතුරු ගීය ගීතාවලිය 132:1-2, 3-5, 11, 12, 13-14
1සමිඳාණන් වහන්ස, දාවිත් වින්ද දුක් කරදර සියල්ල ඔහුගේ යහපත උදෙසා සිහිකළ මැනව.
2ඔහු සමිඳුන්ට දිවුරමින්, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට පොරොන්දු වෙමින් කී මේ දේ සිහි කළ මැනව:
3“මාගේ නිවෙස තුළට වත්, මාගේ යහනට වත් මම නොයන්නෙමි;
4මම විවේකය නොගනිමි;
දෑස පියා නොගනිමි.
5සමිඳුන්ට වාසස්ථානයක් සොයන තුරු, ජාකොබ්ගේ පරාක්‍රමයාණන් වහන්සේට මණ්ඩපයක් සපයන තුරු මම එසේ කරන්නෙමි.”11 සමිඳාණෝ සැබැවින් ම දාවිත්ට මෙලෙස දිවුළ සේක:
“නුඹේ ම කුමරෙකු නුඹේ සිහසුනට පත් කරන්නෙමි.
12නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”
13සමිඳාණෝ සියොන් තෝරාගත් සේක.
සිය වාසභවනය ලෙස ඊට කැමැති වූ සේක.
14මෙය සදාකල් ම මාගේ වාසස්ථානය වේ.
මම මෙහි වැඩ වසන්නෙමි;
මම ඊට කැමැති වෙමි.

ආලේලූයියා ගීතාවලිය 119:105
105ඔබේ වචන මාගේ දෙපයට පහනක් ය;
මාගේ මාවතට එළියක් ය.

සුබාරංචිය මාක් 4:21-25
21  තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “පහනක් ගෙනෙන්නේ බඳුනක් හෝ යහනක් හෝ යට තබන පිණිස ද? පහන් රුක උඩ තැබීමට නොවේ ද? 22 මන්ද යත්, හෙළි නොකරනු ලබන සැඟවුණ දෙයක් වත්, පළ නොකරනු ලබන රහසක් වත් නැති හෙයිනි. 23සවන් ඇත්තෝ සවන් දෙත් වා!”යි වදාළ සේක. 24 තවද, උන් වහන්සේ ඔවුන් අමතා, “ඔබ අසන දේ හොඳින් සිතට ගන්න. ඔබ මැන දෙන මිනුමෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ; වැඩියෙනුත් දෙනු ලැබේ. 25 යමක් ඇති තැනැත්තාට වැඩියෙනුත් දෙනු ලැබේ; නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ” යයි වදාළ සේක.

Post a Comment

0 Comments