꧁☆༒☬✟✟ 2022 ජනවාරි 23 ✟✟☬༒☆꧂

 


2022 ජනවාරි 23 ඉරිදා සාමාන්‍ය සමය තෙවන සතිය 

පළමු කියවීම  නෙහෙමියා 8:2-4A, 5-6, 8-10
2පූජකයා වන එස්රා ද හත් වන මාසයේ පළමු වන දා සභාව එනම්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි අය ද ඉදිරිපිට ව්‍යවස්ථා පොත ගෙනවුත්, 3වතුර දොරටුව ඉදිරියේ තිබුණු චතුරශ්‍රය ඉදිරිපිට සිට, ස්ත්‍රී පුරුෂයන් ද තේරුම්ගත හැකි වයසට පැමිණි අය ද ඉදිරියේ දී අලුයම් වේලේ පටන් ඉර මුදුන් වේලාව දක්වා ඒ පොත කියෙවුවේ ය. මුලු සෙනඟ ද ව්‍යවස්ථා පොතට සවන් දුන්හ.
4ව්‍යවස්ථා පොත කියවීම පිණිස සාදන ලද වේදිකාවක් පිට නීතිවේදියා වන එස්රා සිටියේ ය.  
5මුළු සෙනඟට වඩා උස් තැනක සිටි එස්රා මුළු සෙනඟ ඉදිරියෙහි පොත දිග ඇරියේ ය. ඔහු එය දිග අරින විට සෙනඟ සියලු දෙන නැඟිට සිටියෝ ය. 6එස්රා අති උත්තම දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය. මුළු සෙනඟ ද අත් ඔසවමින්, “එසේ ම වේ වා!” කියා හිස් නමා මුණින්තලා වී සමිඳාණන් වහන්සේට නමස්කාර කළෝ ය.
8මෙසේ ඔව්හු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා එහි අර්ථය තෝරා දුන්හ. මිනිස්සු ද කියෙවූ දේ තේරුම් ගත්හ.
9තිර්ෂාතා වූ නෙහෙමියා ද නීතිවේදියා වූ පූජක එස්රා ද සෙනඟට ඉගැන්වූ ලෙවීවරු ද මුළු සෙනඟට කතා කොට, “අද දින ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයක් ය. වැලපෙන්නට වත්, අඬන්නට වත් එපා ය”යි කී හ. එසේ කීවේ, මුළු සෙනඟ ව්‍යවස්ථාවේ වචන ඇසූ කල ඇඬූ බැවිනි. 10එවිට ඔහු ඔවුන්ට කතා කොට, “ඔබ ගොස් රසවත් දේවල් කා, මිහිරි පානය බී, කිසිවක් සූදානම් කර නොගත් අයට ආහාර පංගු යවන්න. කුමක් නිසා ද අද දින අපේ සමිඳාණන් වහන්සේට ශුද්ධ දිනයකි. ශෝක නොවන්න. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම ඔබේ ශක්තිය වේ ය”යි කී ය.
පිළිතුරු ගීය ගීතාවලිය 19:8, 9, 10, 15
8සමිඳුන්ගේ අණපනත් සාධාරණ ය;
සිතට සතොස වඩන්නේ ය.
සමිඳුන්ගේ අණසක පැහැදිලි ය;
දෙනෙතට එළිය දෙන්නේ ය,
9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය;
එය සදහට ම පවතින්නේ ය.
සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය;
මුළුමනින් දැහැමි වේ ම ය.
10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය;
පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.
14 මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
දෙවන කියවීම 1 කොරිින්ති 12:12-30 Or 1 කොරිින්ති 12:12-14, 27

12  මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක. 13මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. 14ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි. 15යම් හෙයකින් පාදය: “මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. 16එසේ ම කණ: “මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි”යි කීවත්, ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. 17මුළු ශරීරය ඇසක් නම් ශ්‍රවණය කොයි ද? මුළු ශරීරය කනක් නම් ගඳ සුවඳ විඳීම කොයි ද? 18සැබැවින් ම දෙවියන් වහන්සේ තමන් කැමැති පරිදි ඒ එක් එක් අවයවය ශරීරයෙහි පිහිටුවා ඇත. 19ඒ අවයව සියල්ල ම එක ම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින් ද? 20මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එක ම ශරීරයකි.
21ඒ නිසා “නුඹ මට ඕනෑ නැතැ”යි අත අමතා ඇසට වත්, “නුඹලා මට ඕනෑ නැතැ”යි පා අමතා හිසට වත් කීමට නොහැකි ය.
22සැබැවින් ම, ශරීරයේ දුර්වල යයි සලකන අවයව අත්‍යවශ්‍ය වේ. 23තවද අපි, ශරීරයෙහි සුළුකොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නො වූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු. 24මන්ද, ශෝභා සම්පන්න වූ අවයවයන්ට එවැනි උවමනාවක් නැත. ගරු කොට නොසලකන අවයවයන්ට දෙවියන් වහන්සේ වඩා ගරුත්වයක් දෙමින් ශරීරය සංයුක්ත කළ සේක. 25එසේ කෙළේ ශරීරයේ භේදයක් නොතිබෙන පිණිසත්, සෑම අවයවයක් ම අනෙක් අවයවයන් එකාකාර ව සලකන පිණිසත් ය. 26මෙසේ එක අවයවයක් වේදනා විඳී නම් ඒ සමඟ සියලු ම අවයවයෝ වේදනා විඳිති; එලෙස ම එක අවයවයක් ගෞරව ලබයි නම්, ඒ සමඟ සියලු ම අවයවයෝ ප්‍රීති වෙති.
27එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය. 28 මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට අපෝස්තුළුවරුන් ද දෙවනු ව දිවැසිවරයන් ද තුන්වනු ව ගුරුවරුන් ද ඉන්පසු හාස්කම් කරන අය ද සුව කිරීමේ වරම ලත් අය ද උපකාර කරන්නන් ද පරිපාලනය කරන්නන් ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන් ද සභාවෙහි පිහිටුවා වදාළ සේක. 29සියල්ලෝ ම අපෝස්තුළුවරු ද? සියල්ලෝ ම දිවැසිවරයෝ ද? සියල්ලෝ ම ගුරුවරු ද? සියල්ලෝ ම හාස්කම් කරන්නෝ ද? 30සුව කිරීමේ වරම සියල්ලන්ට ම තිබේ ද? සියල්ලෝ ම විවිධ ශබ්ද ව්‍යවහාර කරත් ද? සියල්ලෝ ම ශබ්ද පහදා දෙන්නෝ ද? 31මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශා වන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි
ආලේලූයියා  ලූක් 4:18
18  “සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක.
වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, 19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
සුබාරංචිය ලූක් 1:1-4; 4:14-21
1ශ්‍රීමත් තියෝපිලස් තුමෙ‍නි, අප අතර ඉටු වී ඇති සිද්ධීන් අලළා කථා වස්තුවක් සම්පාදනය කිරීමට බොහෝ දෙනෙකු උත්සාහ කර ඇත. 2ඔවුන් එසේ කර ඇත්තේ ඒ සිද්ධීන් මුල සිට ම සියැසින් දුටු අය හා දහම් පණිවුඩය දෙසූ අය අපට භාර දුන් කරුණු අනුව ය. 3එබැවින්, මුල සිට ම සියල්ල තතු පරිදි විමසා බැලූ මට ද ඔබ උදෙසා විධිමත් වෘත්තාන්තයක් ලිවීම මැනවැ යි සිතිණි. 4මා එසේ ලියන්නේ, ඔබ තුමාණන්ට උගන්වා ඇති කරුණුවල නියම සත්‍යය පහදා දෙන පිණිස ය.
14තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි. 15උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.
16උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක. 17එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙ‍සේ ලියා ඇති තැන සොයාගත් සේක:
18  “සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක.
වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්, 19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. 21උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, “අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.

Post a Comment

0 Comments