꧁☆༒☬✟✟ 2022 ජනවාරි 18 ✟✟☬༒☆꧂

 


2022 ජනවාරි 17 අඟහරුවාදා සාමාන්‍ය සමය දෙවන සතිය 

පළමු කියවීම 1 සාමුවෙල්  16:1-13 


1
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.

2සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න. 3ජෙස්සේ ද ඒ පූජාවට කැඳවන්න. එවිට නුඹ විසින් කරනු ලැබිය යුතු දේ මම නුඹට පෙන්වන්නෙමි. මා නුඹට කියන තැනැත්තා රජු වශයෙන් නුඹ අභිෂේක කළ යුතු ය”යි වදාළ සේක.
4සාමුවෙල් සමිඳාණන් වහන්සේ වදාළ දේ කරමින්, බෙත්ලෙහෙමට පැමිණියේ ය. එවිට නගරයේ ප්‍රජා මූලිකයෝ වෙවුලමින් ඔහු හමු වන්නට අවුත්, “ඔබ එන්නේ සාමදානයෙන් දැ”යි ඇසූ හ.
5සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.
6ඔවුන් පැමිණි කල සාමුවෙල් එලියාබ් දෙස බලා, “සැබැවින් ම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තේ උන් වහන්සේ ඉදිරියෙහි සිටී”යි තමන්ට ම කියාගත්තේ ය. 7එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.
8එවිට ජෙස්සේ අබිනාදාබ්ට හඬගසා සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්වී ය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. 9එවිට ජෙස්සේ ෂම්මා ඔහු ඉදිරිපිටින් එන්නට සැලැස්විය. “මොහු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි සාමුවෙල් කී ය. 10මෙසේ ජෙස්සේ තමාගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකු සාමුවෙල් ඉදිරිපිටට එන්නට සැලැස්සුවේ ය. සාමුවෙල් ද, “මොවුන් එක් කෙනෙකු වත් සමිඳාණන් වහන්සේ තෝරා නොගත් සේකැ”යි ජෙස්සේට කී ය. 11එසේ කියා සාමුවෙල්, “ඔබේ පුත්‍රයෝ හැම දෙනා ම මෙහි සිටිත් දැ”යි ජෙස්සේගෙන් ඇසී ය. ජෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉතිරි ව සිටින්නේ බාලයා ය; ඔහු බැටළුවන් බලාගෙන සිටිනවා ය”යි කී ය. සාමුවෙල් ද, “පණිවුඩකාරයෙකු යවා ඔහු මෙහි ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි පූජාව ඔප්පු නොකරන්නෙමු”යි ජෙස්සේට කී ය. 12එවිට ජෙස්සේ පණිවුඩකාරයෙකු යවා ඔහු ගෙන් වී ය. ඔහු රතු පැහැයක් ද කඩවසම් පෙනුමක් ද දීප්තිමත් නෙත් යුවලක් ද ඇති කෙනෙකි, සමිඳාණන් වහන්සේ කතා කරමින්, “නැඟිට මොහු අභිෂේක කරන්න; මොහු ඒ තැනැත්තා ය”යි වදාළ සේක. 13එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඒ තැනැත්තා ඔහුගේ සහෝදරයන් ඉදිරියෙහි අභිෂේක කෙළේ ය. එදින පටන් සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය දාවිත් කෙරෙහි පිහිටිණි. සාමුවෙල් නැඟිට ආපසු රාමා නගරයට ගියේ ය.

පිළිතුරු ගීය ගීතාවලිය 89:20, 21-22, 27-28

20 මා සේවක දාවිත් මම සොයාගත්තෙමි;
ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.
21මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය;
මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.
22කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත;
කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත. 27 ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
28මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි;
ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය.

ආලේලූයියා එපීස 1:17-18

17 තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි. 

සුබාරංචිය මාක් 2:23-28

23  තවද, උන් වහන්සේ සබත් දිනයේ දී වෙල්යායක් මැදින් වඩින විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩ කඩා ගියහ. 24පරිසිවරු ඒ දැක, “බලන්න, මොවුන් සබත් දිනයෙහි නොකට යුත්තක් කරන්නේ මක්නිසා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 25 උන් වහන්සේ උත්තර දෙමින්, දාවිත් රජ තමාට ද සිය පිරිවරට ද කෑමට කිසිවක් නැති ව බඩගිනි වූ කල කළ දේ, 26 එනම්, අබියාතර් නායක පූජක ව සිටිය දී දාවිත් දෙවියන් වහන්සේගේ ගෘහයට පිවිස පූජකයන් මිස අන් කිසිවෙකු නොකෑ යුතු පිදූ පූප කා, සිය පිරිවරටත් දුන් වග, ඔබ කවදාවත් කියවා නැද්දැ”යි ඇසූ සේක. 27උන් වහන්සේ ඔවුන්ට කතා කොට, සබත පිහිටුවන ලද්දේ මිනිසා උදෙසා ය; මිනිසා සබත උදෙසා නොවේ; 28එහෙයින් මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි වදාළ සේක.

Post a Comment

0 Comments