පළමු කොටස
පාස්කු කතාව නික්මයාමේ කතාවකි. මිසරයේ වහල් බවින් මිදී, රතු මුහුදින් එතෙර වී ගිය කතාවය. එය එක් ජාතියක නිදහස සඳහා කළ අරගලයකි. විමුක්ති සටනකි. එහි ඉතිහාසය පුරාණ ගිවිසුමෙන් කියවා තේරුම් ගැනීමේදී පෙනී යන්නේ සන්නද්ධ අරගලයක් වශයෙන් නොව ඉන් ඔබ්බට යමින් කිතුනු අප අදහන දෙවියන් වහන්සේ විසින් තමන්වහන්සේ විසින් තෝරාගත් ජනතාව වෙනුවෙන් ඉටු කළ නිදහස් කිරීමකි. එය ලොවේ සැමටම ඉදිරිපත් කළ මොඩලයක් වශයෙන් ගිණිය හැකිය. එය පරමාදර්ශයකි. එම අරගලය නිසා ස්වාධීනත්වය ලැබූ ජුදා ජනතාව සෑම වසරක නිශ්චිත කාලයකදී පවුලක් වශයෙන් සැමරීය. අතීත සිද්ධිය පවුලේ ප්‍රධානියා පැහැදිලි කර දුන්නේය.
තවද එම පාස්කු මංගල්‍යය අවස්ථාවේදී තම ජාතිය වෙනුවෙන් දෙවියන් වහන්සේ උදා කළ විමුක්ති සටන ගැන ඔවුන් ප්‍රශංසා කරන ලදී. එසේ එම ගැලවීම්දායක සිද්ධිය අනුස්මරණය කරන විට එය අනාගතයද ඉලක්ක කරගෙන පැවැත්වූ මංගල බොජුනක් විය. එය ජුදා ජාතියේ විමුක්තිදායක වංශ කතාවට අදාළ වු අතර ආර්ථික, සමාජමය හා දේශපාලනමය මෙන්ම සංස්කෘතිය යථාර්ථයට බලපාන්නක් විය. එනම් ඔවුන්ගේ ජන ජීවිතය මෙන්ම සමාජමය හා ආගමික ජීවිතය ඔප නැංවුණේ මෙම නිදහස් සටන පාදක කරගෙනය. ඒ අනුව පුරාණ ගිවිසුමේ සටහන්ව ඇති එම පාස්කු මංගල්‍යය අතීතය වර්තමානය හා අනාගතය තුළ ගැලපීමක් තිබේ.
එම විමුක්ති අරගලය සම්බන්ධ ඉතිහාස කතාව ශුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුම හරහා විහිදී ඇත. එයින් ආරම්භ වූ ගිවිසුම ක්‍රියාත්මක කළ ආකාරය මෙන් ම කඩ කළ ආකාරය ගැනද විස්තර අඩංගුය. ඒ සමඟම විවිධ දිවැස්වරුන් ප්‍රකාශ කළ ආකාරයට අනාගතයේදී ස්ථීරසාර විමුක්තිදායක වන මෙසියස් වහන්සේගේ පැමිණීමේ සටහන්ව ඇත. එය අනාගතයට සුදානමකි. එය වසර ගණනාවක් පුරා විහිදුණි. එය නව ගිවිසුමක් බිහිවීමේ බලාපොරොත්තුවකි.
ජේසු සමිඳුන්ගේ පාස්කුව
එක ජාතියකට පමණක් සීමා වී තිබු එම පුරාණ ගිවිසුමේ විමුක්ති අරගලය සමස්ත මානව වර්ගයා වෙනුවෙන් නව මාවතකට ගෙන ගියේ දේව පුත්‍රයා වශයෙන් මෙලොවට වැඩම කළ ජේසු සමිඳාණන් ය. එයින් සමස්ත මානව විමුක්තියේ දොර සැමට විවර විය. ඔවුන්වහන්සේ සැබෑ මිනිසෙකු මෙන් පාපයෙන් පමණක් තොර වීමෙන් මිනිස් ජීවිතයේ අන් සෑම අංශයකට ම කිඳා බසිමින් මිනිසාට උපරිම වශයෙන් ප්‍රේමය හා කරුණාව දක්වමින් එය ඉටු කළ සේක.
ජේසු සමිඳාණන් රෝගීන් සුව කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අවදිවෙමින් ඒවා ඉටු කරමින් දේව රාජ්‍යය කරා පියවර මැනීමට මාර්ගය පෙන්වා දුන්නේය. තවද එතුමා පාපයේ ප්‍රතිඵලවලට පහර ගසමින් පව්කාරයා මුදා ගැනීමට වෙර දැරූවේ පාපයේ අනිසි ප්‍රතිඵල තමන් විසින් ම දරා ගනිමින්ය. මිනිසා ජීවිතය තුළ විකසිත වන සියලු ම වර්ගයේ දුක් වේදනාවන්ට අන්තර්ග්‍රහණය වෙමින් එහි කෙළවර වන කටුක මරණයට පාත්‍ර වෙමින්ය.
එහෙත් මරණය ජේසු සමිඳාණන්ගේ ජීවිතයේ කෙළවර නොවීය. එහෙත් එතුමා තම පියාණන් වහන්සේගේ සහාය ඇතුව මරණය පරාජය කරමින් නැවත ජීවිතයට ඇතුල්වීමෙන් එතුමාණන්ගේ ජීවිතයේ උච්ඡ අවස්ථාව උදා විය. කිතුනු අප හඳුන්වනු ලබන එම උත්ථානය එතුමාණන්ගේ විජයග්‍රහණයයි. එනම් සියල්ලෙදී ම දෙවියන් ජය ලබන බව සනාථ කිරීමකි. එය මිනිස් අපට ලබා දෙන මහත් අස්වැසිල්ලකි.
ජුදා ජනතාව වාර්ෂිකව පාස්කු උත්සවය පවත්වන අවස්ථාවේදී ම ජේසු සමිඳාණන්ද තමන්ගේ පාස්කුවේ උච්ඡ අවස්ථාවට සම්බන්ධ විය. එය එක ජාතියකට පමණක් සීමා වී තිබු නිසා එතුමාණෝ එය සැම ජන කොටසකගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මඟින් සැමට විවර කළහ. එතුමාණන්ගේ සමස්ත ජීවිතය ම මරණය හා උත්ථානයේ එම අතීතයේ සිට ආ ඓතිහාසික සිද්ධියේ ම විකාශනයකි.
රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා
සැමට සරණ මෝදර
Monday, මාර්තු 27, 2017
0 Comments