꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 මැයි 4 ✟✟༒☆꧂

 



උත්ථාන සමයේ සතරවන සතිය

බ්‍රහස්පතින්දා

පළමුවන කියවීම ක්‍රියා 13:13-25

අපෝස්තුළුවරුන්ගේ ක්‍රියාපොතෙන් ගත් පාඨයෙකි 

 13පාවුලු සහ පිරිස පාපස්හි සිට නැව් නැඟී ගොස්, පම්පිලියේ පර්ගායට පැමිණියෝ ය. එවිට ජොහන් ඔවුන්ගෙන් වෙන් ව ජෙරුසලමට පෙරළා ගියේ ය. 14ඔව්හු පර්ගායෙන් පිටත් ව ගමන් කොට, පිසිදියේ අන්තියෝකියට අවුත්, සබත් දවසේ දී ධර්මශාලාවට ඇතුළු වී අසුන් ගත්තෝ ය. 15ව්‍යවස්ථාවලියෙන් ද දිවැසාවලියෙන් ද ධර්ම පාඨ කියවූ පසු ධර්මශාලා නායකයෝ, “සහෝදරයෙනි, මේ සෙනඟට ඔබගෙන් යම් කිසි ධර්මානුශාසනාවක් ඇත්නම් පවසන්නැ”යි ඔවුනට දැන්වූ හ. 16එවිට පාවුලු නැඟිට අතින් සංඥා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, දේවභය ඇත්තෙනි, සවන් දෙන්න. 17 මේ ඉශ්රායෙල් ජනතාවගේ දෙවියන් වහන්සේ අපේ පියවරුන් තෝරාගෙන, මිසර දේශයේ විදේශී ව සිටිය දී ඔවුන් උසස් කොට, බලසම්පන්න බාහු බලයෙන් ඔවුන් එයින් පිටතට ගෙනා සේක. 18උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක. 19උන් වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශ කොට, අවුරුදු හාරසිය පණහක පමණ කාලයක් ඒ ජාතීන්ගේ දේශය ඔවුන්ට උරුම කොට දුන් සේක. 20 එයින් පසු දිවැසිවර සාමුවෙල් දක්වා උන් වහන්සේ ඔවුන්ට වීරවරයන් දුන් සේක.

21 “ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලා සිටියහ. දෙවියන් වහන්සේ බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙකු වූ කිෂ්ගේ පුත්‍ර වූ සාවුල්, හතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන් සේක. 22 උන් වහන්සේ ඔහු අස් කර, දාවිත් ඔවුන්ගේ රජු හැටියට පත් කළ සේක. උන් වහන්සේ ඔහු ගැන සාක්ෂි දෙමින්, ‘ජෙස්සේගේ පුත්‍ර වූ, මට ප්‍රියමනාප මිනිසෙකු වූ, මාගේ මුළු කැමැත්ත ඉටු කරන්නෙකු වූ දාවිත් මම සොයාගතිමි’යි වදාළ සේක. 23දෙවියන් වහන්සේ පොරොන්දු දුන් ලෙස, ඔහුගේ පරපුරෙන් ඉශ්රායෙල් සෙනඟට ජේසුස් නම් ගැළවුම්කාරයෙකු දෙවා වදාළ සේක. 24 උන් වහන්සේගේ පැමිණීමට පෙර ජොහන් ඉශ්රායෙල්හි මුළු සෙනඟට පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනය දේශනා කෙළේ ය. 25තවද ජොහන් සිය මෙහෙය නිම කරන විට, ‘මම කවරෙක් කියා ඔබ සිතන්නෙහි ද? මම ඔබ සිතන තැනැත්තා නොවෙමි; මට පසුව කෙනෙක් එන සේක, උන් වහන්සේගේ පාවහන් මුදන්නට වත් මම නොවටිමි’යි කී ය.

දේව වාක්‍යය එසේය.


පිළිතුරු ගීය ගීතාවලිය 89: 1-2, 20-21,24,26

පිළිතුර  සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහටම ගයන්නෙමි.


1 සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි.
ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි.
2ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි;
ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
20 මා සේවක දාවිත් මම සොයාගත්තෙමි;
ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.
21මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය;
මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.
24මාගේ විශ්වාසවන්තකම සහ තිර පෙම ඔහු සමඟ වන්නේ ය;
මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේ ය.
25මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි;
එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි.
26ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය.


සාධුකාරය

ආලේලූයා ආලේලූා

 මළවුන්ගෙන් උත්ථාන වූ කුඵඳුලාත් මිහිපිට රජුන්ගේ අධිපතියාත් වන 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබට කරුණාව හා ශාන්තිය වේවා

ආලේලූයා


සුභාරංචිය ජොහන් 13 : 16-20

සුවිශේෂක ජොහන්තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය.


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දාසයෙක් තම ස්වාමියාට වඩා උසස් නොවේ. එමෙන් ම, යවන ලද්දෙක් ඔහු යවන්නාට වඩා උසස් නොවේ. 17ඉදින් ඔබ මේ දේවල් දන්නහු නම්, දැන ඒවා පිළිපදින්නහු නම්, ඔබ භාග්‍යවන්තයෝ ය. 18 මා කතා කරන්නේ ඔබ හැම දෙනා ගැන ම නොවේ. මා තෝරාගත් අය මම හඳුනමි. එහෙත්, ‘මාගේ භෝජන වළඳන තැනැත්තා මට විරුද්ධ ව නැඟී ඇත’ යන ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතු ය. 19එය ඉටු වූ විට, මම උන් වහන්සේ ම යයි ඔබ විශ්වාස කරන පිණිස එය ඉටු වන්න පෙර දැන් පවසමි. 20 ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”

සුවිශේෂ වාක්‍යය එසේය.

Post a Comment

0 Comments