꧁☆༒✟✟ 𝟚𝟘𝟚𝟛 අප්‍රේල් 7 ✟✟༒☆꧂

 

 2023 අප්‍රේල් 7 මහ සිකුරාදා                                        

පළමු කියවීම     යෙසායා    52:13-53:12   
13බලන්න, මාගේ සේවකයාණන්ට ජය අත් වේ.
එතුමාණෝ, උසස් වී, උතුම් වී, අත්‍යුත්කෘෂ්ට වෙති.
14පෙනුමෙන් එතුමාණෝ බොහෝ සේ අවලක්ෂණ ය.
මිනිසෙකුට සමානකමක් නැත.
මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් එය සියල්ලන්ට ම පුදුමයක් වී ඇත.
15 දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති.
රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති.
ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති.
කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති. 1 අප සැළ කළ දේ විශ්වාස කෙළේ කවරෙක් ද?
සමිඳුන්ගේ බලය එළිදරව් වී ඇත්තේ කවරෙකුට ද?
2මාගේ සේවකයාණෝ වැඩෙන පැළෑටියක් සේ ද වියළි බිමෙන් මතු වන අංකුරයක් සේ ද සමිඳුන් අබියස වැඩුණෝ ය.
එතුමන්ට රූපවත්කමක් හෝ පැහැපත්කමක් හෝ නැත;
මන පිනවන ශෝභමානකමක් ද නැත;
3මිනිසුන් විසින් පිළිකුල් කොට එපා කරනු ලැබූ හ;
දුක හා වද වේදනා දැරූ මිනිස් කෙනෙක් වූ හ.
එතුමන් දුටු විට මිනිස්සු ඉවත බලාගත්හ;
එතුමාණෝ නෙරපනු ලැබූ හ.
අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වූවෙමු.
4 එබැවින් එතුමාණන් ඉසුළුවේ අපේ දුක ය;
දරාගත්තේ අපේ පීඩා ය.
මේවා දඬුවම් යයි අපට සිතුණේ ය.
දෙවි තුමන් දුන් පහර යයි අපට හැඟුණේ ය.
5 එහෙත්, එතුමන් තුවාළ ලැබුවේ අපේ අපරාධ නිසා ය;
පොඩි කරනු ලැබුවේ අපේ පව් නිසා ය.
එතුමන් ලත් දඬුවමින් අපට සාමදානය ලැබී ඇත;
එතුමන් ලැබූ පහරවලින් අපට සුවය ලැබී ඇත.
6 අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු.
සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
7  සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ;
නිහතමානී ලෙස එය දැරූ හ.
මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.
8බලහත්කාරකමින් ද යුක්ති විරෝධි ලෙස ද එතුමෝ ගෙනයනු ලැබූ හ;
මනු ලොවින් සිඳදමනු ලැබූ හ;
සෙනඟගේ පව් උදෙසා මරනු ලැබූ හ.
9 මේ කරුණු ගැන, එතුමන් උදෙසා පෙනී සිටින්නේ කවරෙක් ද?
එතුමන් කිසි වරදක් නොකළ නමුත්, කිසි බොරුවක් නොකී නමුත්, ඔවුන් එතුමන් මිහිදන් කෙළේ අදමිටුවන් සමඟ එක මිනී වළේ ය.
ධනවතුන් සමඟ එක සොහොන් බිමේ ය.
10එහෙත්, එතුමන් පෙළනු ලැබුවේත්, දුකට පත් කරනු ලැබුවේත් සමිඳාණන්ගේ කැමැත්ත ලෙස ය.
මෙසේ එතුමන්ගේ මරණය පව් කමා කරන පූජාවක් වේ.
එබැවින් එතුමෝ සිය පරපුර දැක, දීර්ඝායු ලැබ ජීවත් වන්නා හ.
එතුමන් මඟින් සමිඳුන්ගේ කැමැත්ත මැනවින් සඵල වේ.
11එතුමන් සිය දුක් වේදනාවේ ප්‍රතිඵල දැක, තෘප්තියට පැමිණෙනු ඇත.
බොහෝ දෙනාගේ පව් තමන් පිට ගැනීමෙන්, එතුමන් දුක් වේදනාවෙන් ලත් දැනගැන්මෙන් දමිටු කමට ඔවුන් පත් කරනු ලබනු ඇත.
12 එබැවින් මම එතුමන්ට උදාරතර සම්පත් දෙන්නෙමි.
එතුමෝ එය බලවතුන් සමඟ බෙදාගන්නා හ.
මෙසේ වන්නේ, එතුමන්, වරදකරුවන් සමඟ ගණන් ගනු ලැබ, සිය දිවි පුදමින්, බොහෝ දෙනාගේ පව් උසුලාගනිමින් පව්කරුවන් සඳහා මැදහත් යැදුම් කරන බැවිනි.

පිළිතුරු ගීය      ගීතාවලිය   31:2, 6, 12-13, 15-16, 17, 25

2මා දෙස ඔබේ දෙසවන යොමා,
නොපමා ව මා මිදුව මැනව,
මට බලගතු විමුක්ති පර්වතයක් ද ආරක්ෂක බලකොටුවක් ද වුව මැනව. බොරු දෙවි දේවතාවන් නමදින අයට මම ද්වේෂ කරමි.
එහෙත්, මම සමිඳුන් කෙරේ විශ්වාසය තබමි. 12 මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත;
බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත.
13බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ;
මා අවට භීතිය ඇත.
මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති. 15 මාගේ ජීවිත ගමන ඔබ අතෙහි ය, මාගේ සතුරන් හා මට පීඩා කරන්නවුන් අතින් මා මුදා හැරිය මැනව.
16ඔබ මෙහෙකරු වන මා දෙස කරුණාවෙන් බැලුව මැනව;
ඔබේ තිර පෙමින් මා ගැළෙවුව මැනව.
17මම ඔබට හඬගසමි;
මම නින්දාවට පත් නොවෙම් වා!
දුදනෝ නින්දාවට පත් වෙත් වා!
ඔව්හු නිහඬ ව පාතාලයට යත් වා!
24සමිඳුන් කෙරේ විශ්වාසය තබන සියල්ලෙනි, ශක්තිමත් වන්න;
සිතින් ධෛර්යවත් වන්න.

දෙවන කියවීම     හෙබ්‍රෙව්    4:14-16; 5:7-9

14එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු. 15මන්ද, අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින් ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. 16එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු. 

7  ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක. 8උන් වහන්සේ පුත්‍රයාණන් වූ නමුත්, තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක. 9මෙසේ උන් වහන්සේ සම්පූර්ණත්වය ලැබ, තමන් වහන්සේට කීකරු වන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයාණෝ වූ සේක.

සුබාරංචියට පෙර     පිලිප්පි    2:8-9

8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.

සුබාරංචිය     ජොහන්  18:1-19:42   

1ජේසුස් වහන්සේ යාච්ඤාව නිම කළ පසු, සිය ශ්‍රාවකයන් සමඟ කිද්‍රොන් ඇළෙන් එගොඩට වැඩිය සේක. එහි උයනක් විය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට පිවිසි සේක. 2ද්‍රෝහියා වූ ජූදස් මේ ස්ථානය දැන සිටියේ ය. මන්ද, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එහි නිතර ම රැස් වූ බැවිනි. 3ජූදස් තෙමේ, නායක පූජකයන්ගෙන් ද පරිසිවරුන්ගෙන් ද භට කණ්ඩායමක් සහ මුර සේවකයන් කීප දෙනෙකුත් ලබාගෙන, පහන්, පන්දම් හා අවිආයුධ ඇති ව එතැනට පැමිණියේ ය. 4තමන් වහන්සේට සිදුවන්නට යන සියලු දේ දැන සිටි ජේසුස් වහන්සේ, ඉදිරියට ගොස්, “ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 5ඔව්හු පිළිතුරු දෙමින්: “නාසරෙත්හි ජේසුස් ය”යි කී හ. “ඒ මම ය”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමඟ සිටියේ ය. 6“ඒ මම” යයි ජේසුස් වහන්සේ ඔවුන්ට කී කල්හි, ඔව්හු පස්සෙන් පස්සට ගොස් බිම වැටුණාහ. 7යළිත් උන් වහන්සේ, “ඔබ කවරෙකු සොයන්නහු දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. “නාසරෙත්හි ජේසුස් ය”යි ඔව්හු කී හ. 8ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “ඒ මම යයි ඔබට කීවෙමි; ඉදින් ඔබ මා සොයන්නහු නම්, මොවුන්ට යන්න දෙන්නැ”යි වදාළ සේක. 9මෙසේ වූයේ: ‘ඔබ මට දුන් අයගෙන් එක් කෙනෙක් වත් නැති නොවී ය’යි උන් වහන්සේ කී වචන ඉෂ්ට වන පිණිස ය.
10සීමොන් පේදුරු ළඟ කඩුවක් තිබිණි. ඔහු එය ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපා දැමී ය. ඒ දාසයාගේ නම මල්කස් ය. 11 එවිට ජේසුස් වහන්සේ, “කඩුව කොපුවේ දමන්න, පියාණන් වහන්සේ මට දී තිබෙන කුසලාන මම නොබොම් දැ”යි පේදුරුට වදාළ සේක.
උත්තම පූජකයා ඉදිරියේ
(මතෙ 26:57-58මාක් 14:53-54ලූක් 22:54)
12එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන 13පළමුකොට අන්නස් වෙතට ගෙන ගියෝ ය. ඔහු ඒ වසරේ උත්තම පූජකයා ව සිටි කායාපස්ගේ මයිලණුවන් විය. 14 මේ කායාපස් වනාහි, ජනතාව වෙනුවෙන් එක් මිනිසෙකු මරණයට පත්වීම සුදුසු යයි ජුදෙව්වරුන්ට උපදෙස් දුන් තැනැත්තේ ය.
පේදුරුගේ අපලාපය
(මතෙ 26:69-75මාක් 14:66-72ලූක් 22:56-62)
15ජේසුස් වහන්සේ පසුපස්සේ සීමොන් පේදුරු ද තවත් ශ්‍රාවකයෙක් ද ගියහ. මේ ශ්‍රාවකයා, උත්තම පූජකයා දැන සිටි කෙනෙකු වූ බැවින්, ඔහු ජේසුස් වහන්සේ සමඟ උත්තම පූජකයාගේ මැදුරේ මහා මළුවට ඇතුළු විය. 16පේදුරු දොර ළඟ පිටත සිටියේ ය. එවිට උත්තම පූජකයා දැන සිටි අනික් ශ්‍රාවකයා පිටතට ගොස් දොරටුපාලියට කතා කොට, පේදුරු ඇතුළතට ගෙනාවේ ය. 17එවිට දොරටුපාලී, “ඔබත් මේ මිනිසාගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඇසුවා ය. “නැතැ”යි ඔහු පිළිතුරු දුනි.
18එය ශීත කාලය වූයෙන්, දාසයෝ ද මුර සේවකයෝ ද අඟුරු දල්වා ගිනි තපිමින් සිටියෝ ය. පේදුරු ද ඔවුන් සමඟ ගිනි තපිමින් සිටියේ ය.
උත්තම පූජකයා ඉදිරියේ නඩු විභාගය
(මතෙ 26:59-66මාක් 14:55-64ලූක් 22:66-71)
19එවිට උත්තම පූජකයා, ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන ද උන් වහන්සේගේ ඉගැන්වීම ගැන ද ප්‍රශ්න කෙළේ ය. 20ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි. 21මාගෙන් විචාරන්නේ කුමක්නිසා ද? මා කී දේ ඇසූ අයගෙන්, මා ඔවුන්ට කීවේ කුමක් දැ යි ප්‍රශ්න කරන්න. මා කීවේ කුමක් දැ යි ඔව්හු දනිති”යි වදාළ සේක. 22උන් වහන්සේ මෙසේ වදාළ විට, ළඟ සිටි මුර සේවකයන්ගෙන් කෙනෙක්: “නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙස ද?” කියා ජේසුස් වහන්සේට අතුල් පහරක් ගැසී ය. 23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්: “මා කී දෙයෙහි වරදක් ඇත්නම්, එය ඔප්පු කරන්න; නැත්නම් කුමක් නිසා මට පහර දෙන්නෙහි දැ”යි ඇසූ සේක.
24ඒ ඇසූ අන්නස්, උන් වහන්සේ බැඳ සිටි ලෙස ම උත්තම පූජකයා වූ කායාපස් වෙතට යැවී ය.
පේදුරු යළිත් අපලාප කිරීම
(මතෙ 26:71-75මාක් 14:69-72ලූක් 22:58-62)
25සීමොන් පේදුරු ගිනි තපිමින් සිටියේ ය. එවිට සෙසු අය කතා කරමින්, “නුඹත් ඔහුගේ ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් නොවේ දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු: “නැත, එසේ නොවේ ය”යි කී ය. 26එවිට පේදුරු විසින් කන කපන ලද තැනැත්තාගේ ඥාතියෙකු වූ, උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක් කෙනෙක්: “නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මා දුටුවා නොවේ දැ”යි ඇසී ය. 27පේදුරු යළිත් අපලාප කෙළේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
ජේසුස් වහන්සේ පිලාත් ඉදිරියේ සිටීම
(මතෙ 27:1-2-11-14මාක් 15:1-5ලූක් 23:1-5)
28එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. 29එබැවින් පිලාත්, පිටත ඔවුන් සිටි තැනට පැමිණ, “මේ මිනිසාට විරුද්ධ ව ඔබ ගෙනෙන චෝදනාව කුමක් දැ”යි ඇසී ය. 30ඔව්හු පිළිතුරු දෙමින්, “මේ මිනිසා අපරාධකාරයෙක් නොවේ නම්, අප ඔහු ඔබ අතට භාර දෙන්නේ නැතැ”යි කී හ. 31පිලාත් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ම ඔහු ගෙනගොස් ඔබේ නීතිය අනුව විනිශ්චය කරන්නැ”යි කී ය. ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “කිසිවෙකු මරණයට පත් කිරීමට අපට බලය නැතැ”යි කී හ. 32 මෙසේ වූයේ, ‘තමන් වහන්සේ කුමන ආකාරයක මරණයකින් මැරෙන සේක් දැ’යි දන්වමින් ජේසුස් වහන්සේ වදාළ වචන ඉෂ්ට වන පිණිස ය.
33එබැවින් යළිත් රජවාසලට පිලාත් ඇතුළු වී, ජේසුස් වහන්සේ කැඳවා, “නුඹ ජුදෙව්වරුන්ගේ රජ දැ”යි ඇසී ය. 34ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්: “මෙය ඔබ ම කියන දෙයක් ද, නැතහොත් අන් අය මා ගැන කී දෙයක් දැ”යි ඇසූ සේක. 35පිලාත් පිළිතුරු දෙමින්, “මම ජුදෙව්වෙක් ද? නුඹේ ම ජාතිය ද නායක පූජකයෝ ද නුඹ මා අතට භාර දුන්හ. නුඹ කුමක් කෙළෙහි ද?”යි ඇසී ය. 36ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම්, ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත. ඒ නිසා මාගේ රාජ්‍යය මෙලොවින් වූවක් නොවේ ය”යි වදාළ සේක. 37එවිට පිලාත්, “එසේ නම්, නුඹ රජෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මම රජෙක් යයි ඔබ ම කියන්නෙහි ය. මා උපන්නේත්, ලොව පහළ වූයේත්, සත්‍යයට සාක්ෂි දරන පිණිස ය; සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති”යි වදාළ සේක. 38“සත්‍යය කියන්නේ කුමක් දැ”යි පිලාත් උන් වහන්සේගෙන් ඇසී ය.
ජේසුස් වහන්සේට මරණ දඬුවම
(මතෙ 27:15-31මාක් 15:6-20ලූක් 23:13-25)
පිලාත් මෙසේ කියා යළිත් පිටත සිටි ජුදෙව්වරුන් වෙතට ගොස්, “මොහු අත කිසි වරදක් මට නොපෙනේ. 39පාස්කු මංගල්‍යයේ දී ඔබ හට එක් මිනිසෙකු මා විසින් නිදහස් කර දීමේ සිරිතක් ඔබ අතර ඇත. එබැවින් ජුදෙව්වරුන්ගේ රජු ඔබ හට නිදහස් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. 40එවිට ඔව්හු නැවතත් මොරගසමින්, “මේ මිනිසා නොවේ, බරබ්බස් නිදහස් කර දෙන්නැ”යි කී හ. බරබ්බස් වනාහි මංකොල්ලකාරයෙකි.
1ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැළෙව්වේ ය. 2හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන් වහන්සේගේ හිසෙහි තබා, නීල-රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා, 3උන් වහන්සේ ළඟට පැමිණ, “ජුදෙව් රජතුමෙනි, සැරදේ!” කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ.
4යළිත් පිලාත් පිටතට ගොස්, “මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව ඔබ දැනගන්නා පිණිස, මෙන්න, මොහු ඔබ වෙතට ගෙනෙමි”යි ඔවුන්ට කී ය. 5එවිට ජේසුස් වහන්සේ, කටු ඔටුන්න හිසේ දරා, නීල-රක්ත වස්ත්‍රය ද හැඳගෙන, පිටතට ආ සේක. “මෙන්න, ඒ මනුෂ්‍යයා” යයි පිලාත් ඔවුන්ට කී ය. 6එවිට නායක පූජකවරු ද මුර සේවකයෝ ද උන් වහන්සේ දුටු කල, “කුරුසියේ ඇණ ගසන්න, කුරුසියේ ඇණ ගසන්නැ”යි මොරගැසූ හ. පිලාත් කතා කරමින්, “ඔබ ම මොහු ගෙන ගොස් කුරුසියේ ඇණ ගසන්න, මන්ද, මොහු අත කිසි ම වරදක් ඇති බව මට නම් නොපෙනේ ය”යි කී ය. 7ජුදෙව්වරු පිළිතුරු දෙමින්, “නීතියක් අපට ඇත; ඒ අනුව, මොහු තමා ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා යයි කී බැවින් මරනු ලැබිය යුතු ය”යි කී හ.
8ඒ කීම ඇසූ කල, පිලාත් වඩාත් බිය වී, 9රජවාසලට යළිත් ඇතුළු වී, ජේසුස් වහන්සේ අමතා, “ඔබ කොහෙන් එන්නේ දැ”යි ඇසී ය. එහෙත් ජේසුස් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක. 10එබැවින් පිලාත් කතා කොට, “ඔබ මට පිළිතුරක් නොදෙන්නෙහි ද? ඔබ නිදහස් කර හරින්නට හෝ කුරුසියේ ඇණ ගසන්නට හෝ මට බලය ඇති බව ඔබ නොදන්නෙහි දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. 11ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.
12ඒ මොහොතේ පටන් පිලාත් ජේසුස් වහන්සේ නිදහස් කර හරින්නට මඟක් සෙවී ය. එහෙත් ජුදෙව්වරු මොරගසමින්, “ඔබ මොහු නිදහස් කර හැරියොත් ඔබ සීසර් අධිරාජයාගේ මිතුරෙක් නොවේ. යම් තැනැත්තෙක් තමා රජෙකැ යි කියාගන්නේ ද, ඔහු අධිරාජයාගේ හතුරෙකි”යි කී හ. 13පිලාත් ඒ බස් අසා, ජේසුස් වහන්සේ පිටතට ගෙනැවිත් සිටුවා, හෙබ්‍රෙව් බසින් ‘ගබ්බාතා’ කියන ගල් වේදිකා නම් ස්ථානයේ ඇති විනිශ්චයාසනයෙහි අසුන් ගත්තේ ය.
14ඒ වනාහි පාස්කු මංගල්‍යයට සූදානම් වීමේ දවසේ මද්දහන් වේලාව පමණ විය. ඔහු, “මෙන්න ඔබේ රජ ය”යි ජුදෙව්වරුන්ට කී ය. 15“ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ. 16එකල ඔහු, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන පිණිස ඔවුන්ට භාර දුන්නේ ය.
කුරුසියේ ඇණ ගැසීම
(මතෙ 27:32-44මාක් 15:21-32ලූක් 23:26-43)
එබැවින් ඔව්හු ජේසුස් වහන්සේ භාර ගත්හ. 17උන් වහන්සේ ම කුරුසිය උසුලාගෙන, හෙබ්‍රෙව් බසින් ගොල්ගොතා යයි කියන කපාලපිටිය නම් ස්ථානයට වැඩිය සේක. 18එහි දී ඔව්හු උන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ හ; උන් වහන්සේ සමඟ තවත් දෙදෙනෙකු දෙපසින් ද උන් වහන්සේ මැදි ව ද සිටින සේ ඇණ ගැසූ හ. 19තවද පිලාත් නාම පුවරුවක් ලියවා කුරුසිය මත තැබෙව්වේ ය. ‘ජුදෙව්වරුන්ගේ රජ වූ නාසරෙත්හි ජේසුස් ය’යි එහි ලියා තිබිණි. 20ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානය නුවරට සමීප වූ බැවින්, ජුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්, එය කියෙව්වෝ ය. හෙබ්‍රෙව්, ලතින්, ග්‍රීක් යන භාෂාවලින් එය ලියා තිබිණි. 21එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, “ ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ. 22පිලාත් පිළිතුරු දෙමින්, “මම ලිව්වොත් ලිව්වා ම ය”යි කී ය.
23ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පසු, හේවායෝ උන් වහන්සේගේ වස්ත්‍ර ගෙන, එක හේවායෙකුට එක කොටසක් බැගින් කොටස් සතරකට බෙදාගත්හ. ඔව්හු උන් වහන්සේගේ සළුව ද ගත්හ. ඒ සළුවට මූට්ටුවක් නොදමා, උඩ සිට පහළට මුළුමනින් ම එකට වියා තිබිණි. 24 එබැවින් ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි මෙය නොඉරා, කවරෙකුට වැටේ ද කියා දාදු දමා බලමු”යි කී හ. මෙසේ වූයේ:
“මාගේ වස්ත්‍ර ඔව්හු තම තමන් අතර බෙදාගත්හ;
මාගේ සළුව පිණිස දාදු දැමූ හ”
යන ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස ය. එබැවින් හේවායෝ මෙසේ කළහ.
25ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. 26එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. 27ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, “මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.
ජේසුස් වහන්සේගේ මරණය
(මතෙ 27:45-56මාක් 15:33-41ලූක් 23:44-49)
28  ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, “මට පිපාස ය”යි වදාළ සේක. 29එහි විනාකිරි පිරූ භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි පොඟවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන් වහන්සේගේ මුඛයට ළං කළහ. 30ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, “සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.
හෙල්ලයකින් ඇනීම
31එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ. 32එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ. 33එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ. 34එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය. 35එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි. 36 මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය. 37 තවද: ‘ඔවුන් ඇණ තුවාළ කළ තැනැත්තා දෙස, බලනු ඇතැ’යි තවත් ශුද්ධ ලියවිලි පාඨයක් ඇත.
භූමදානය
(මතෙ 27:57-61මාක් 15:42-47ලූක් 23:50-56)
38ඉන්පසු, ජුදෙව්වරුන්ට බිය නිසා, රහසින් ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ අරිමාතියේ ජෝසෙප්, ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන යාමට පිලාත්ගෙන් අවසර ඉල්ලී ය. පිලාත් අවසර දුන්නේ ය. එබැවින් ඔහු අවුත් ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන ගියේ ය. 39 මීට කලින් දිනෙක උන් වහන්සේ වෙත රාත්‍රියෙහි පැමිණි නිකොදේමුස් ද, කිලෝග්‍රෑම් තිහක් පමණ බර ගන්ධරස හා අගිල් මිශ්‍රණයක් ගෙන ආයේ ය. 40ඔව්හු ජේසුස් වහන්සේගේ මෘත දේහය ගෙන, ජුදෙව්වරුන්ගේ අවමඟුල් සිරිත් පරිදි සුවඳ ද්‍රව්‍ය ගල්වා සිහින් හණ රෙදිවලින් එය වෙළුවෝ ය. 41උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය. 42ජුදෙව්වරුන්ගේ සබත් දිනට පෙර දින ආසන්න වූ බැවින් ද ඒ සොහොන් ගෙය නුදුරු ව තිබුණු බැවින් ද ඔව්හු ජේසුස් වහන්සේ එහි තැන්පත් කළහ.

Post a Comment

0 Comments