꧁☆✟✟ 2023 අප්‍රේල් 12 ✟✟☆꧂

 



  2023 අප්‍රේල් 12 බදාදා - පාස්කු සතිය                         


පළමු කියවීම     ක්‍රියා      3:1-10  

1දිනක් පේදුරු සහ ජොහන් යාච්ඤා වේලාව වූ සවස තුනට දේව මාලිගයට ගියහ. 2උපන් දා පටන් කොර ව සිටි එක්තරා මිනිසෙක් විය. දේව මාලිගාවට ඇතුළු වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස, දේව මාලිගාවේ ‘සුදර්ශන’ නම් ලත් දොරටුව ළඟ දිනපතා ඔහු තබන ලදී. 3ඔහු පේදුරු සහ ජොහන් දේව මාලිගාවට ඇතුළුවන්නට යන බව දැක සිඟමන් ඉල්ලී ය. 4පේදුරු ජොහන් සමඟ ඔහු දෙස නෙත් යොමා, “අප දෙස බලන්නැ”යි කී ය. 5ඔහු ද ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස ඕනෑකමින් බැලී ය. 6එවිට පේදුරු, “රන් වත් රිදී වත් මට නැත. එහෙත් මට ඇති දේ ඔබට දෙමි; නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැ”යි කී ය. 7එසේ කියා පේදුරු තුමා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැඟිටුවාලී ය. එකෙණෙහි ම ඔහුගේ පාද සහ වළලුකර ශක්ති සම්පන්න විය. 8ඔහු උඩ පැන කෙළින් සිට ඇවිදින්නට විය. තවද, ඇවිදිමින් ද, උඩ පනිමින් ද, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ද ඔහු ඔවුන් සමඟ දේව මාලිගාවට ඇතුළු විය. 9ඔහු ඇවිදිනවාත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවාත් සියලු දෙනා දුටුවෝ ය. 10දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.

පිළිතුරු ගීය      ගීතාවලිය     105:1-2, 3-4, 6-7, 8-9

1සමිඳාණන් වහන්සේට තුති පුදන්න, එතුමාණන්ගේ නාමයෙන් අයැදින්න, ජාතීන් අතරේ එතුමාණන්ගේ ක්‍රියා පළ කරන්න.
2එතුමාණන්ට ගී ගයන්න;
එතුමාණන්ට පසස් ගී ගයන්න;
එතුමාණන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.
3එතුමාණන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න;
සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා!
4සමිඳාණන් ද එතුමාණන්ගේ බලය ද සොයා බලන්න;
එතුමාණන් හමුව නිතර ම සොයන්න.5-6 එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
7එතුමාණෝ අපේ දෙවි සමිඳාණෝ ය.
එතුමාණන්ගේ විනිසය මුළු පොළොවෙහි ය. එතුමාණෝ පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.
9 ඒ ගිවිසුම එතුමාණෝ ආබ්‍රහම් සමඟ කළ සේක.
ඊසාක්ට ද දිවුරුම් දුන් සේක.

ආලේලූයියා     ගීතාවලිය   118:24

24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය!
මෙදින අපි ප්‍රීති වමු;
සන්තෝෂ වමු.

සුබාරංචිය     ලූක්  24:13-35

13එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. 14එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ. 15තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක. 16ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය. 17උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ. 18ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය. 19“කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, “නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක. 20නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ. 21එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත. 22තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්, 23උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ. 24අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ. 25එවිට උන් වහන්සේ ඔවුන් අමතා, “බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි, 26ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා, 27මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
28ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක. 29එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක. 30තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, පූප ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක. 31එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක. 32එකල ඔව්හු, “උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ. 33ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, 34“ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. 35එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ පූප කැඩීමෙ‍හි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.

Post a Comment

0 Comments