✟✟ 𝟚𝟘𝟚𝟛 මාර්තු 6 ✟✟

 


පළමුවන කියවීම දානියෙල් 9:4B-10

මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට පව් කියාදෙමින්, මෙසේ කීමි: අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ප්‍රේමකොට ඔබගේ ආඥා රක්ෂාකරන්නන්ට ගිවිසුමත් කරුණාවත් පවත්වන්නාවූ මහත්වූ භයංකරවූ දෙවියන්වහන්ස, 5අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව. 6ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව. 7අහෝ ස්වාමීන්වහන්ස, ඔබට ධර්මිෂ්ඨකම අයිතිය, නුමුත් අද දවසේ තිබෙන්නාක්මෙන් මුහුණු–ලජ්ජාව අපට අයිතිය, එනම් යූදාහි මනුෂ්‍යයන්ටත් යෙරුසලමේ වැසියන්ටත් ඔබට විරුද්ධව කළ ද්‍රෝහිකම නිසා ඔබ විසින් පන්නාදමනු ලැබ, සියලු රටවල ළඟ සිටින්නාවූද දුර සිටින්නාවූද සියලු ඉශ්‍රායෙල්වරුන්ටත්ය. 8ස්වාමීන්වහන්ස, අප විසින් ඔබට විරුද්ධව පව්කළ නිසා අපට, එනම්, අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් මුහුණු–ලජ්ජාව අයිතිය. 9අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව. 10අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.

පිළිතුරු ගීය ගීතාවලිය 79:8, 9, 11 AND 13

පිළිතුර එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;

8අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව.
ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව.
අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.
පිළිතුර එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;
9අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව;
ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.
පිළිතුර එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;
11ඔබේ සිරකරුවන්ගේ කන්කෙඳිරිය ඔබ ඉදිරියට පැමිණේ වා!
මරණයට නියම වූ අය ඔබේ මහිමයෙන් ආරක්ෂා වෙත් වා!
13එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු.
පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.
පිළිතුර එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක;

සුබාරංචියට පෙර ජොහන් 6:63C, 68C

මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය. 

සුබාරංචිය ලූක් 6:36-38

36ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.”
37“අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ. 38අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය”යි වදාළ සේක.

Post a Comment

0 Comments