✟✯🌷පාරිශුද්ධ දේවමාතා මංගල්‍යය🌷✯ ✟


 මරියාවන් සඳහා භාවිත කරන  "දෙවියන් වහන්සේගේ මව" යන ව්‍යවවහාරයේ ඉතිහාසය තුන්වන හෝ හතරවන සියවස දක්වා ඈතට දිව යයි, නමුත් ග්‍රීක යෙදුම තියෝටෝකෝස් ("දෙවිඳුන් දරා සිටින්නිය") ක්‍රි ව.431 දී එපීස මන්ත්‍රණ සභාවේ දී කතෝලික ධර්ම සත්‍යතාවක් ලෙස නිල වශයෙන් නම් කරන ලදි. එෆීසයේ කවුන්සිලය අවසානයේදී,  "තියෝටෝකෝස් හට ප්‍රශංසා වේවා!" යනුවෙන් ඔල්වරසන් දෙමින් විශාල ජනකායක් වීදි දිගේ ඇවිද ගිය බව සදහන් වේ.

මෙම කතෝලික ධර්ම සත්‍යතාව පදනම් වී ඇත්තේ පාවුලුතුමා විසින් කළ ප්‍රකාශයක් පදනම් කරගෙනය. "දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපන්, නීතිය යටතේ උපන් තම පුත්‍රයා එවූ සේක" (ගලාති 4:4).

සභාව තුළ මරියාවන්ගේ භූමිකාව පිළිබඳ, II වතිකානු මන්ත්‍රණ සභා "Lumen Gentium" ලේඛනයෙහි ("ජනතාවගේ ආලෝකය") 12 වතාවක් මරියාවන් "දෙවියන් වහන්සේගේ මව" ලෙස හඳුන්වයි.

මෙම දිනයේ දී එනම් ජනවාරි පළමුවන දින කතෝලික සභාව ද ලෝක සාම දිනය ද සමරයි. එය හයවන පාවුළු පාප් වහන්සේ විසින් පිහිටුවන ලද සහ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසින් තහවුරු කරන ලද සම්ප්‍රදායකි.

පාරිශුද්ධ දේවමාතා මංගල්‍යය යනු මරියාවන් ජේසුස් වහන්සේගේ මව වීම සැමරීමකි. ඉංග්‍රීසි භාෂාවේ  "දෙවියන් වහන්සේගේ මව" යනු ලතින් යෙදුම වන Mater Dei හි වචනානුසාරයෙන් පරිවර්තනයක් වේ., එය එෆීසි හි පළමු මන්ත්‍රණ සභාව (ක්‍රි ව 431) විසින් සම්මත කරන ලද "දෙවිඳුන් දරා සිටින්නිය" යන අර්ථය ඇති ග්‍රීක  Θεοτόκος (Theotokos) ගෞරවාන්විත යෙදුම වේ. 

මෙම මංගල්‍යය ස්පාඤ්ඤයෙන් සහ ප්‍රංශයෙන් ආරම්භ වී හත්වන සියවසේ දී රෝමානු ජනවන්දනා වත්පිළිවෙත්වලට එක් වී ඇත. එහෙත් හකරවන සහ පස්වන සියවස්වල පෙරදිග සභා පිළිවෙත්වල පැවති මෙම මංගල්‍යය සිදු කර ඇත්තේ දෙසැම්බර් මස26 වන දිනය. ''ශුද්ධවු සදා කන්‍යා දේවමාතාවන්ගේ මංගල්‍යය'' ලෙස මෙය පෙරදිග සභාවන් හි සමරා ඇත. 13 සහ 14 වන  සියවස් වන විට මෙම මංගල්‍යය වෙනුවට සමිදාණන් වහන්සේගේ චර්මඡේදන මංගල්‍යය ආදේශ කොට ඇති බව පෙනී යයි. ක්‍රි.ව. 1575 ට්‍රෙන්ට් පිළිවෙත් සංග්‍රහයට මෙම මංගල්‍යය '' සමිදාණන් වහන්සේගේ චර්මඡේදන මංගල්‍යය" නමින් පස්වන පියුස් පාප්තුමා එක් කළ අතර මෙම මංගල්‍යය සැමරීම පෘතුගාලයේ බොහෝ සේ ජනප්‍රිය විය.

1931 දී එකොළොස්වන පියුස් පාප්තුමා ඔක්තෝබර් 11 වන දින "දේවමාතාවන්ගේ මාතෘත්වයේ මංගල්‍යය" සැමරීම නිර්දේශ කළ ද දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පසු හයවන පාවුළු පාප්තුමා පෙර තිබූ ආකාරයටම "පාරිශුද්ධ දේවමාතා මාංගල්‍යය"  ලෙස ජනවාරි 1 දින මංගල්‍යය සැමරීම නිර්දේශ කරන ලදි. එමනිසා වර්තමාන රෝමානු කතෝලික සභාව තුළ මෙම මංගල්‍යය අනිවාර්ය අනුස්මරණ මංගල්‍යයක් වන අතර ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ණය මංගල්‍යයක් ලෙස මෙම දිනය නම් කොට ඇත. 

මෙහි ඉතිහාසය

මෙම යෙදුම 4 වන සියවස වන විට නිසැකවම භාවිතා වූ බව කිව හැකිය. ක්‍රි ව. 330 දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ අතනාසියස් ද, ක්‍රි ව.  370 දී දේවධර්මාචාර්ය ග්‍රෙගරි ද, ක්‍රී ව. 400 දී ජෝන් ක්‍රිසොස්ටම් සහ අගුස්තීනුතුමා යන සියල්ලෝම ''තියෝටෝකෝස්'' යන යෙදුම භාවිතා කළ පුද්ගලයන් ය.

ඔරිගන් (ක්‍රි ව. 254) බොහෝ විට මරියාවන් සඳහා ''තියෝටෝකෝස්'' යෙදුම භාවිත කළ මුල්ම කතුවරයා ලෙස දැක්වි හැකිය. (සොක්‍රටීස්, සභා ඉතිහාසය 7.32 (PG 67, 812 B) රෝමවරුන් පිළිබඳ ඔරිගන්ගේ විවරණ උපුටා දක්වමින්). මෙම සාක්ෂිය අවිනිශ්චිත වුවද, මෙම යෙදුම ක්‍රි ව. 250 ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඩයොනිසියස් විසින්, සමෝසාටාහි පෝල්ට ලියූ ලිපියක භාවිතා කරන ලද බවට සාක්ෂි ඇත.

Sub tuum praesidium පුරාණ ග්‍රීක ගීතිකාවේ  ΘΕΟΤΟΚΕ  ''තියෝටෝකෝස්'' ලෙස මෙම යෙදුම අඩංගු වේ. මෙම ගීතිකාවේ අපට හමුවන පැරණිතම වාර්තාව වන්නේ ඊජිප්තුවෙන් හමු වූ පැපිරස් පත්‍රය ය. බොහෝ දුරට මෙම පැපිරස් පත්‍ර ක්‍රි ව. 450 ට පසුව දින නියම කර ඇත. නමුත් බයිබල් විශාරදයන් එම පැපිරස් පත්‍ර තුන්වන සියවසේ මැද භාගය තෙක් ගෙන යයි. (මෙම ගීතයේ මුල්ම පාඨය කොප්ටික් ඕතඩොක්ස් නත්තල් පූජාවකින් හමු විය. පැපිරස් පත්‍රවල හමුවන මෙය ග්‍රීක භාෂාවෙන් රචනා වූ ගීතිකාවකි. මෙම ගීතය අද දක්වා කොප්ටික් මෙන්ම ආර්මේනියානු, බයිසැන්තියානු, ඇම්බ්‍රෝසියානු සහ රෝම චාරිත්‍ර වාරිත්‍රවල ද භාවිතා වේ. ග්‍රීක පාඨයට අමතරව, පැරණි අනුවාද කොප්ටික්, සිරියැක්, ආර්මේනියානු සහ ලතින් භාෂාවෙන් ද සොයාගත හැකිය.)

තුන්වන ජගත් මන්ත්‍රණ සභාව (එපීස මන්ත්‍රණ සභාව)

ක්‍රි ව. 431 දී එපීසි හි පැවති තුන්වන ජගත් මන්ත්‍රණ සභාවේ දී ''තියෝටෝකෝස්" යන යෙදුම භාවිතය විධිමත් ලෙස තහවුරු කරන ලදී. මරියාවන් සැබවින්ම දෙවියන් වහන්සේගේ මව බවට පත් වූයේ ඇගේ කුසෙහි සිටින දෙවියන් වහන්සේගේ පුත්‍රයා මිනිස්බවින් පිළිසිඳ ගැනීමෙන් බව මන්ත්‍රණ සභාව ගරුගාම්භීරයෙන් ප්‍රකාශ කළේය.

කොන්ස්ටන්ටිනෝපල්හි රදගුරුවරයා වූ නෙස්ටෝරියස් (ක්‍රි.ව. 428 අප්‍රේල් 10 සිට 431 අගෝස්තු මාසය දක්වා කොන්ස්තන්නිනෝපල් රදගූරු ධූරය දරන ලදි.) විසින් ඉදිරිපත් කරන ලද මතභේදකාරී මතය වූයේ මරිය තුමීව ''ක්‍රිස්ටෝටෝකෝස් '' ලෙස හැඳින්විය යුතු බවයි. එහි අර්ථය “ක්‍රිස්තුස් වහන්සේට උපත ලබා දෙන්නා” යන්නයි. ඇයගේ භූමිකාව ක්‍රිස්තුස් වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවයේ මවට පමණක් වන අතර උන්වහන්සේගේ දිව්‍යමය ස්වභාවයට නොවන බවය. 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල්ගේ නායකත්වයෙන් යුත් නෙස්ටෝරියස්ගේ විරුද්ධවාදීන් මෙය සැලකුවේ ජේසුස් වහන්සේව මරිය තුමියගේ පුත්‍රයා වූ මනුෂ්‍යයා සහ දිව්‍යමය වශයෙන් වෙනස් පුද්ගලයන් දෙදෙනෙකුට බෙදීමක් ලෙසය. ඔවුන්ට මෙය පිළිගත නොහැකි දෙයක් වූයේ ක්‍රිස්තුස් වහන්සේ තුළ දිව්‍යමය හා මනුෂ්‍ය ස්වභාවයන්ගේ පරිපූර්ණ එකමුතුව විනාශ කිරීමෙන්, එය මනුෂ්‍යත්වයේ පූර්ණත්වය කඩා දැමීමක් වන බවය.එපීස මන්ත්‍රණ සභාව සිරිල්ගේ තර්කය පිළිගෙන, මරියාවන් සඳහා ''තියෝටෝකෝස් '' යන ගෞරවාන්විත යෙදුම තහවුරු කළ අතර, නෙස්ටෝරියස්ගේ මතය මිථ්‍යාදෘෂ්ටික මතවාදයක් ලෙස බැහැර කරන ලදි. (නෙස්ටෝරියානුවාදය බලන්න)


Post a Comment

0 Comments