✟✟ 𝟚𝟘𝟚2 දෙසැම්බර් 25 ✟✟

 



පළමු කියවීම යෙසායා   52:7-10

7 සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, “නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ”යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද?
8නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත.
සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත.
9ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න;
ඝෝෂා කරමින් හඬ නඟන්න.
සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක.
10සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක.
අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.

පිළිතුරු ගීය ගිතාවලිය 98:1, 2-3, 3-4, 5-6

පිළිතුරඑම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.

1සමිඳුන්ට නව ගීයක් ගයන්න;
මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක.
සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
පිළිතුරඑම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක;
විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.
3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක.
මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.
පිළිතුරඑම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න;
ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
පිළිතුරඑම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න;
වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.
6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.
පිළිතුරඑම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.

දෙවන කියවීම හෙබ්‍රෙව්1:1-6

1දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක. 2එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක. 3උන් වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවය ද දේවත්වයේ ස්වරූපය ද වන සේක්, තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාප ශෝධනය ඉටු කළ පසු, උන් වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන් ගත් සේක.
4මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන් වහන්සේ ඔවුන්ට වඩා බොහෝ සේ උතුම් වන සේක. 5 මන්ද:
“ඔබ මාගේ පුත්‍රයා ය;
මම අද ඔබ ජනිත කෙළෙමි”යි
කියාත්, “මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය”
කියාත්, උන් වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක. 6 උන් වහන්සේ තමන්ගේ කුලුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල:
‘දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන් වහන්සේට නමස්කාර කරත්වා”යි
වදාරන සේක. 

සුබාරංචිය ජොහන් 1:1-18

1ආරම්භයේ දී, ධර්මයාණෝ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ සමඟ සිටි සේක;
ධර්මයාණෝ දෙවියන් වහන්සේ ව ම සිටි සේක.
2ආරම්භයේ දී උන් වහන්සේ, දෙවියන් වහන්සේ සමඟ සිටි සේක.
3සියල්ල උන් වහන්සේ කරණකොටගෙන මවන ලදී;
උන් වහන්සේ නොමැති ව මවන ලද කිසිවක් නො වී ය.
4උන් වහන්සේ තුළ ජීවය විය;
ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකය විය.
5ආලෝකය අන්ධකාරයෙහි බබළයි;
අන්ධකාරය කිසි කලෙක එය ග්‍රහණය නොකෙළේ ය.
6  දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යයෙක් වී ය. ඔහුගේ නම ජොහන් ය. 7ඔහු පැමිණියේ, තමා මඟින් සියලු දෙනා අදහාගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට, සාක්ෂිකරුවෙකු වශයෙනි. 8ඔහු ඒ ආලෝකය නොව, ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේ ය.
9සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයාණෝ, ලොවට උදා වෙමින් සිටි සේක.
10උන් වහන්සේ ලෝකයෙහි සිටි සේක;
ලෝකය ඇති වූයේ ද උන් වහන්සේ කරණකොටගෙන ය.
එහෙත්, ලෝකයා උන් වහන්සේ හඳුනා නොගත්හ.
11උන් වහන්සේ සිය දේශයට වැඩම කළ සේක, එහෙත්, ස්වකීය ජනතාව උන් වහන්සේ නොපිළිගත්හ.
12එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.
13එසේ උපත ලැබූයේ, මානව සන්තතියෙන් වත්, කායික සබඳතාවෙන් වත්, මිනිස් පියෙකුගෙන් වත් නොව, දෙවියන් වහන්සේගෙන් ම ය.
14ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක.
දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
15ජොහන් උන් වහන්සේ ගැන සාක්ෂි දෙමින්, “මට පසුව එන තැනැන් වහන්සේ මට පෙර වූ බැවින්, මට වඩා උතුම් ය යි මා කීවේ මුන් වහන්සේ ගැන ය”යි මොරගසා කී ය.
16උන් වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝ ම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු. 17කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය. 18කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක

Post a Comment

0 Comments