✟✟ 𝟚𝟘𝟚𝟚 දෙසැම්බර් 16 ✟✟

 


ළමුවන කියවීම යෙසායා 56:1-3A, 6-8

1සමිඳාණෝ සිය සෙනඟට මෙසේ වදාරන සේක.
“යුක්තිය ඉටු කර හරි දේ කරන්න.
මම නුඹලා නොපමා ව මුදන්නෙමි.
මාගේ විමුක්තිය එළිදරව් වනු ඇත.
2මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
3සමිඳුන් සමඟ බැඳුණ විදේශිකයා, ‘සමිඳාණෝ සිය සෙනඟගෙන් මා වෙන් කරන සේකැ’යි නොකියා වා!
6සමිඳුන්ට සේවය කර, එතුමන්ට ප්‍රේම කර, එතුමන්ගේ මෙහෙකරුවන් වන පිණිස එතුමන් සරණ ගිය, සබත් දවස පවත්වා එය නොකෙලසන මාගේ ගිවිසුම ස්ථිර ව පවත්වන විදේශිකයන් ද මාගේ ශුද්ධ කන්දට පමුණුවා, මාගේ යාච්ඤා ගෘහයෙහි ප්‍රීති කරවන්නෙමි.
7 ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය.
මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.
8පිට කරනු ලැබූ ඉශ්රායෙල්වරුන් එකතු කරන මහෝත්තම දෙවි සමිඳාණෝ, ‘ඔවුන් වෙත එකතු වී සිටින්නන් හැර මම තවත් අය ඔවුන් වෙත එකතු කරන්නෙමි’යි වදාරන සේක.”

පිළිතුරු ගීය ගීතාවලිය 67:2-3, 5, 7-8

පිළිතුර  අහෝ දෙවිඳුනි, සියලු ජාතීහු ඔබ පසසත් වා!

2එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය;
සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය.
3අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
පිළිතුර  අහෝ දෙවිඳුනි, සියලු ජාතීහු ඔබ පසසත් වා!
5අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා!
සියලු ජාතීහු ඔබ පසසත් වා!
පිළිතුර  අහෝ දෙවිඳුනි, සියලු ජාතීහු ඔබ පසසත් වා!
6පොළොව පලදාව බහුල ව නිපදවිය;
දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක.
7අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා!
පොළෝ වැසි සියල්ලෝ එතුමාණන්ට ගරු කරත් වා!
පිළිතුර  අහෝ දෙවිඳුනි, සියලු ජාතීහු ඔබ පසසත් වා!

සුබාරංචිය ජොහන්  5:33-36

33 ඔබ ජොහන් වෙත මිනිසුන් යැව්වහු ය. ඔහු සත්‍යය පිළිබඳ සාක්ෂිය දරා ඇත. 34එහෙත්, මා මේ දේ ඔබට කියන්නේ, මිනිසාගෙන් සාක්ෂියක් ලබන පිණිස නොව, ඔබ ගැළවීම ලබන පිණිස ය. 35ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය. 36එහෙත් මට ඇති සාක්ෂිය ජොහන්ගේ සාක්ෂියට වඩා උතුම් එකකි. මන්ද, මා විසින් පරිපූර්ණ කරනු ලබන පිණිස පියාණන් වහන්සේ මට පැවරූ කටයුතු, එනම්, මා කරන කටයුතු ම, පියාණන් වහන්සේ මා එවා වදාළ බවට සාක්ෂි වෙයි. 

Post a Comment

0 Comments