✟✯✯ ශු. අර්නස්ට් මුනිතුමා ✯ ✯ ✟

 


ශාන්ත අර්නස්ට්  ජර්මනියේ Zwiefalten හි බෙනදිකානු තාපස පූජකතුමෙකි. මෙතුමා 1146 සිට 1149 දක්වා කාලය තුළ ක්‍රිස්තු භක්තිකයන් විසින් ශුද්ධ වූ දේශය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන ලද දෙවන කුරුස යුද්ධයට සහභාගී විය. 1144 දී එඩෙස්සා නගරයේ දී මෙතුමා මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ අත්අඩංගුවට පත් වූ බව සදහන්ය.

අර්නස්ට් යනු ජර්මානු නමක් වන නමුත් මෙතුමන්ගේ ජීවිතය ගැන වැඩි යමක් සඳහන් වී නැත. ඔහු ජර්මනියේ ස්විෆල්ටන් හි වංශවත් පවුලක උපත ලැබූ බවත් ඔහු තම සහෝදරයන් දෙදෙනා සමඟ ස්වාබියාවේ තාපසාරාම ප්‍රතිසංස්කරණය කිරිමෙහිලා දායක වූ බව කියැවේ. අර්නස්ට් පැවිදි  ජීවිතයට පිවිසියේ කෙසේද සහ කවදාද යන්න පැහැදිලි නැත. වර්ෂ 1131 සිට සහෝදරයන් තිදෙනා විසින් ස්විෆල්ටන් වෙත කරන ලද පරිත්‍යාගයකින් ඇඟවෙන්නේ ඔවුන් ඒ කාලයේදීම පැවිදි දිවියට ඇතුළු වී ඇති බවයි. 

ලතින් රාජධානිය ආරක්ෂා කිරීමට සහ සිරියාවේ සෙන්ගිගේ ආක්‍රමණ අඩාල කිරීම සඳහා ශාන්ත බර්නාඩ් තුමා දෙවන කුරුස යුද්ධයට සහභාගී වන ලෙස ඉල්ලා සිටි විට, ජර්මානු රජු වූ දෙ වන කොන්රඩ් සමග මෙතුමා  ඇතුළු තවත් වංශාධිපතීන් රැසක් ඊට එකඟත්වය දැක්වීය. මෙතුමා රජුගේ සහෝදරයා වූ ෆ්‍රීසිං හි රදගුරු ඔටෝගේ නායකත්වයෙන් යුත් වන්දනාකරුවන් සහ සටන්කරුවන් පිරිසක් සමඟ කුරුස යුද්ධයට සම්බන්ධ විය. එම කුරුස යුද්ධය සාර්ථක නොවු අතර ජර්මානු හමුදාව විශාල පසුබෑමකට මුහුණ දුන්නේය. දැඩි සාගින්නෙන් හා තුර්කි හමුදාවන්ගේ සැඟවුණු පහරදීම් වලින්  කිතුනුවන් බොහෝ දෙනෙකු සිරකරුවන් බවට පත් වී පීඩා විඳි අතර ඝාතනයට ද ලක් විය.

මෙතුමා ජෙරුසලමට පැමිණියාද හෝ ඔහුට සිදු වූ දේ ගැන හෝ ඇසින් දුටු සාක්ෂියක් හෝ සමකාලීන වාර්තාවක් නොමැති නමුත් දොළොස්වන සියවසේ පසුකාලීනව ලියූ චරිතාපදානයකට අනුව මෙතුමා තවත් කිතුනු සිරකරුවන් 40 දෙනෙකු සමඟ මක්කම වෙත ගෙන ගොස් "පර්සියාවේ රජු" වෙත ඉදිරිපත් කරන ලදී. රජතුමා මෙතුමාට සහ අනෙකුත් කිතුනුවන්ට ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට වන්දනාමාන කරන ලෙස අණ කළ නමුත් මෙතුමා දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කළේය. එම නිසා අමානුෂික වධ හිංසාවලට ලක් වූ මෙතුමාව නැවත වරක් පිළිම ඉදිරියට ගෙනැවිත් නමස්කාර කරන ලෙස පවසන ලදී . ඒ වෙනුවට මෙතුමා පිළිම වලට ගල්වලින් පහර දී එවා කැබලි වලට කඩා දැමීය. අනතුරුව වර්ෂ 1148 දී දරුණු ලෙස පහර දීමෙන් එතුමන්ව ඝාතනය කරන ලදී.

Post a Comment

0 Comments