✟✯✯ ශු. මාටින් ද පොරස් මුනිතුමා ✯ ✯ ✟

 


මෙතුමා උපත ලබන්නේ 1579 දෙසැම්බර් මස 09 වන දින පේරු රාජ්‍යයේ ලීමා නගරයේ ය. ඔහුට වසර දෙකකට පසුව 1581 දී උපත ලැබූ ජුවානා දි පෝරස් නම් සහෝදරියක් සිටියේය. මෙතුමාගේ පියා ස්පාඤ්ඤ ජාතිකයේක වූ අතර මව ස්දේශික අප්‍රිකානු වහල් සම්භවයකට හිමිකම් කියන ලදි. මෙතුමාගේ සහෝදරියගේ උපතෙන් පසු පියා සිය පවුල අතහැර ගියේය. මෙතුමාගේ මව රෙදි සේදීමේ කටයුතුවල නිරත වෙමින් දරුවන් රැකගත් අතර ඒ සඳහා එම දරුවන්ගේ සහයෝගය ද ලබා ගත්තාය.මෙතුමා දරිද්‍රතාවයේ දුෂ්කරතා මත හැදී වැඩුණි. ඉන්පසු මෙතුමාව වසර දෙකක කාලයක් ප්‍රාථමික පාසලකට යවනු ලැබූ අතර, පසුව වෛද්‍ය කලාව ඉගෙනීම සඳහා ශල්‍ය වෛද්‍යවරයකු සමඟ තැබීය. 

පේරු නීතිය යටතේ, අප්‍රිකානුවන්ගෙන් සහ ස්වදේශික ඇමරිකානුවන්ගෙන් පැවත එන්නන්ට ආගමික නිකායන් වල පූර්ණ සාමාජිකයන් වීම තහනම් විය. එහිදී මාටින්ට විවෘත වූ එකම මාර්ගය වූයේ ලීමා හි ශුද්ධ වූ ජපමාලයේ දොමිනිකානුවන්ගේ නිකාය පමණි. එම තාපසාරාමයේ සුළු සේවකයකු ලෙස ස්වෙච්ඡාවෙන් සේවය කිරීමට බැඳුණු ඔහුට පැවිදි ඇඳුම ඇඳීමටද අනිකුත් පැවිද්දන් සමග ආගමික වතාවත්වලට සහභාගි වීමටද අවස්ථාව ලැබුණි.

මාටින් දිගින් දිගටම මුළුතැන්ගෙයි අරක්කැමියකු ලෙස සේවය කළ අතර හා සුව කිරීමේ කටයුතුවල ද නිරත විය. මෙතුමා ආශ්චර්යමත් සුව කිරීම් රාශියක් සිදු කළ බව කියනු ලැබේ. ඔහු මුළුතැන්ගෙයි වැඩ, රෙදි සේදීම සහ පිරිසිදු කිරීම වැනි කටයුතු ද කළේය. ශුද්ධ වූ ජපමාලය තාපසාරාමයේහි වසර අටකට පසු, නිකායේ මූලිකයා වූ ජුවාන් දි ලොරෙන්සානා නීතියෙන් එපිට ගොස්, ශාන්ත දොමිනික් තුන්වන නිකායේ සාමාජිකයෙකු ලෙස වේදභාරයන් ගැනීමට මාටින්ට අවසර දුන්නේය. නමුත් නිකායේ සියලු දෙනා මෙම තීරණයට එකඟ නොවූ අතර එක් පූජකයෙක් අවජාතක සහ වහලුන්ගෙන් පැවත එන්නකු බවට ඔහුට සමච්චල් කළේය. 
මාටින්ට වයස අවුරුදු 24 දී, එනම් 1603 දී දොමිනිකානු ගිහි සහෝදරයෙකු ලෙස ආගමික භාරයන් ප්‍රකාශ කිරීමට ඔහුට අවසර ලැබුණි. ඔහු‌ගේ මෙම තත්ත්වය ඉහළ නැංවීම කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කළ බව කියනු ලැබේ. එය ඔහුගේ පියාගේ මැදිහත්වීම නිසා සිදුවූූවක්ද විය හැකිය.


ඔහු විසූ තාපසාරාමය ණය වී සිටින විට ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ  "මම දුප්පත් වහලෙකු පමණයි, මාව විකුණන්න" යනුවෙනි. මාටින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි තදින් බැඳී සිටි අතර, එක් රාත්‍රියක ඔහු පූජාසනයේ පඩිපෙළෙහි දණ ගසා යාච්ඤා කරමින් සිටියදී එහි ගින්නක් හට ගත්තද අවට සිදුවන දේ නොදැන ඔහු සිටි ස්ථානයේම රැඳී සිටියේය.

මාටින්ට වයස අවුරුදු 34 දී, ගිහි සහෝදරයෙකුගේ ආගමික නිල පළඳනාව ලබා දීමෙන් පසු, ඔහුව රෝහල වෙත අනුයුක්ත කරන ලද අතර, මිය යන තෙක් එම සේවයේ ඔහු රැඳී සිටියේය.මෙම දුෂ්කර කාර්යභාරය තුළ ඉවසිල්ලෙන් කටයුතු කිරීමට අවශ්‍ය ගුණාංග ඔහුගේ උසස් පූජකයන් ඔහු තුළ දුටු අතර ඔහු අතින් බොහෝ හාස්කම් ඔහුට සිදුවන්නට පටන් ගත් බව ද වැඩි කලක් ගත ගතවන්නට පෙර ඔවුන්ට දැක ගන්නට ලැබිණි. මාටින් තම තාපසාරාමයෙන් පිටත රෝගීන්ව රැකබලා ගත් අතර බොහෝ විට ඔවුන්ට සුවයක් ලබා දුන්නේ වතුර වීදුරුවකින් පමණි.
 
දිනක් වයෝවෘද්ධ හිඟන්නෙකු, වණවලින් වැසී නිරුවතින් පැමිණ මාටින් වෙත අත දිගු කර සිටි අවස්ථාවේදී ඔහු තම ඇඳට එම රෝගියාව ගෙන ගියේය. ඔහුගේ එක් සහෝදරයෙක් ඔහුට තරවටු කළ විට මාටින් මෙසේ පිළිතුරු දුන්නේ, "මගේ ආදරණීය සහෝදරයා, දයානුකම්පාව පිරිසිදුකමට වඩා සුදුසුය." යනුවෙනි.

ලීමා හී වසංගතයක් ඇති වූ විට,  කන්‍යාරාමයේ අසනීප වූ 60 දෙනෙකු සිටි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තාපසාරාමයේ අගුලු දමා ඇති කොටසේ වූ ආධුනිකයන් වූහ. මාටින් ඔවුන්ව රැකබලා ගැනීම සඳහා අගුලු දමා ඇති දොරවල් හරහා ගොස් ඇති බව කියනු ලැබේ. මාටින් මාංශ අනුභවයෙන් තොර වූ කෙනකු අතර අන් අයගේ පරිත්‍යාගයන් සමඟ දිනකට දිළිඳු පුද්ගලයින් 160කට පමණ ආහාර ලබාදීමට ඔහුට හැකි විය. වර්ෂ 1639 නොවැම්බර් 03 වන දින මෙතුමා ස්වර්ගස්ථ විය.
මෙතුමා පේරු රාජ්‍යයේ ප්‍රථම ශුද්ධවන්තයා වේ. 

Post a Comment

0 Comments