✟✯✯ ශු. චාර්ල්ස් බොරොමියෝ ✯ ✯ ✟

 



මෙතුමා උපත ලබන්නේ ඉතාලියේ මිලාන් පලාතේ අරෝනා නගරයේ වංශවත් මන්දිරයක ය. බොරෝමියෝ පවුල පැරණි හා ධනවත් වංශවත් පෙළපතකින් පැවත එන අතර කතෝලික  සභාවේ සහ රෝම අධිරාජ්‍යයේ කැපී පෙනෙන පුද්ගලයන් කිහිපදෙනකුම බිහි කිරීමට මෙම පවුල් පරම්පරාව සමත් වී ඇත. ඔහුගේ පියා වූ ගිල්බට් බොරෝමියෝ අරෝනා හී වංශාධිපතියෙකු වූ අතර මව වූ මාග්‍රට් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත විය. එමෙන්ම මව වංශවත් මෙඩිචි පරම්පරාවේ සාමාජිකාවක් ද විය. මෙම මෙඩිචි පරම්පරාව විසින් කතෝලික සභාවට පාප්තුමන්ලා සිව් දෙනෙක් ප්‍රදානය කර ඇත. දරුවන් හය දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූයේ මෙතුමාය.

චාල්ස්ට වයස අවුරුදු දොළහේ දී පමණ ආගමානුකූලව හිස මුඩු කිරීම සිදු කළ අතර මෙම අවස්ථාවේදී ඔහුගේ මාමා වූ ගුලියෝ සෙසාරේ බොරෝමියෝ විසින් ධනවත් බෙනදිකානු තාපසාරාමයකින් ලැබෙන ආදායම ඔහුගේ නමට පවරන ලදී. පමණටත් වඩා ලැබෙන ආදායම දිළිඳු දුගී දුප්පතුන්ට අයිති බවත් ඒවා ලෞකික භාවිතයට යොදා ගැනීම නුසුදුසු බවත් මෙතුමා තම පියාට පැහැදිලි කර දුන්නේය.

තරුණ වියට පත් මෙතුමා පාවියා හී විශ්ව විද්‍යාලයට ඇතුඵ වන අතර සිවිල් නීතිය සහ සභා නීතිය හැදෑරීම සඳහා ඉල්ලුම් කරන ලදී. කතා කිරීමේ දී තිබූ සුළු ආබාධයක් හේතුවෙන් ඔහුගේ ඉගෙනීම මන්දගාමී වේ යැයි සලකනු ලැබූ නමුත් ඔහුගේ කැපවීම සහ ක්‍රියාශීලී භාවය හේතු කරගෙන වේගවත් ප්‍රගතියක් අත්පත් කර ගැනීමට මෙතුමාට හැකි විය. වර්ෂ 1554 දී මෙතුමාගේ පියා මිය යන අතර පවුලේ අයගේ ඉල්ලීම මත කෙටි කාලයක් ඔවුන්ගේ ගෘහ කටයුතු කළමනාකරණය කිරීමාට මෙතුමාට සිදුවිය. නැවත අධ්‍යාපන කටයුතු ආරම්භ කළ මෙතුමා 1559 දෙසැම්බර් 06 වන දින ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

1559 දෙසැම්බර් 25 වන දින මෙතුමාගේ මාමා වූ කාදිනල් ජියොවන්නි ඇන්ජලෝ මෙඩිචි, හතරවන පියුස් නමින් පාප් ධූරයට පත්වන අතර එතුමන් විසින් තම බෑණනුවන් වූ චාල්ස් රෝමයට ගෙන්වා සභා අධිකරණයේ ලේකම්වරයෙකු ලෙස පත් කරන ලදී. ඉන් ටික කාලයකට පසු එනම් 1560 ජනවාරි 31 වන දින ඔහුව කාදිනල් වරයෙකු ලෙස ද පත් කළේය. 1562 සහ 1563 වසර වල පැවැති ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව සංවිධානය කරන ලද්දේ ද මෙතුමන්  විසිනි.

මෙතුමාගේ සහෝදරයා වූ ෆෙඩ්රිකෝ 1562 නොවැම්බර් 19 වන දින හදිස්සියෙන්ම මියගිය අතර පවුලේ අය මෙතුමාගෙන් ඉල්ලා සිටියේ සියලු සභා තනතුරු අතහැර නිවසට පැමිණ විවාහ වී දරුවන් මෙලොවට බිහිකර තම පරම්පරාවේ නාමය රැක දෙන ලෙස ය. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මෙතුමන් දැඩි විශ්වාසයකින් හා ක්‍රියාශීලිව තම ක්‍රිස්තියානි ජීවිතය තුළ ජීවත් වීමට තීරණය කළේය. 1560 පෙබරවාරි 07 වන දින මිලාන් අගරදගුරු පදවියේ පරිපාලකයෙකු ලෙස පත් පත්වීම ලැබූ මෙතුමා පූජක ජීවිතයට ඇතුළු වීමට තීරණය කළ අතර 1563 සැප්තැම්බර් 04 වන දින පූජකවරය ලබා ගන්නා ලදි.  පසුව එතුමන් මිලාන් පදවියේ අගරදගුරු හිමිපාණන් ලෙස පත්විය.

සභාව තුළ පිරිහී යමින් තිබූ බොහෝ තැන්හී වෙනස්කම් සිදු කරමින් ප්‍රතිසංවිධාන කටයුතු කළ එතුමන් මහත් වූ ප්‍රබෝධයක් ශු.සභාව තුළ ඇති කිරීමට සමත් විය. මෙතුමා 1584 වසරේ නොවැම්බර් 03 වන දින තම අවසන් හුස්ම හෙළන ලදී.


Post a Comment

0 Comments