✟✟ 𝟚𝟘𝟚𝟚 නොවැම්බර් 20 ✟✟

 


පළමුවන කියවීම 2 සාමුවෙල්  5:1-3

1එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු. 2පසු ගිය කාලයේ දී, සාවුල් අපේ රජ ව සිටි කාලයෙහි ඉශ්රායෙල්වරුන් සටනට ගෙන ගියේත්, ඔවුන් ආපසු ගෙනාවේත් ඔබ ම ය. සමිඳාණන් වහන්සේ ඔබට කතා කොට, ‘නුඹ මාගේ ඉශ්රායෙල් සෙනඟ පාලනය කරමින්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහි ය’යි වදාළ සේකැ”යි කීවෝ ය. 3මෙසේ ඉශ්රායෙල්හි සියලු ප්‍රජා මූලිකයෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙත පැමිණියෝ ය. දාවිත් රජු හෙබ්‍රොන්හි දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේ ය. ඔව්හු දාවිත් ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කළෝ ය. 

පිළිතුරු ගීය ගීතාවලිය 122:1-2, 3-4, 4-5

පිළිතුර - “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.

1“දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
2එම්බා ජෙරුසලම!
අපේ දෙපා තිගේ වාසල ඇතුළේ තබා තිබේ.
පිළිතුර - “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
3එම්බා ජෙරුසලම!
මැනවින් සදා නිම කළ නුවරක් මෙන් තී ගොඩනඟන ලද්දී ය.
4ඉශ්රායෙල් සෙනඟට නියම කළ ලෙස ගෝත්‍රයෝ, සමිඳුන්ගේ ගෝත්‍රයෝ, එතුමන් නමට තුති දෙන පිණිස මෙම නගරය වෙත පැමිණෙති.
පිළිතුර - “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.
5මන්ද, සිංහාසනය, එනම්, දාවිත්ගේ සිංහාසනය සෙනඟ විනිශ්චය කරන පිණිස එහි පිහිටා තිබේ.
පිළිතුර - “දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.

දෙවන කියවීම කොලොස්සි 1:12-20

12ආලෝකයේ වසන සැදැහැවතුන්ගේ උරුමයට පංගුකාරයන් වීමට ඔබ සුදුස්සන් කළ පියාණන් වහන්සේට ස්තුති කරන්න. 13අන්ධකාරයේ බලයෙන් අප මුදා, තම ප්‍රේමාන්විත පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පැමිණෙව්වේ උන් වහන්සේ ය. 14 උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්‍රදානය කළ සේක.
15ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක. 16මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ; 17උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය. 18 උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක. 19මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය. 20 උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.

ආලේලූයියා මාක් 11:9, 10

 9 පෙරටුවෙන් හා පිටුපසින් ගිය අය “හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේ වා!, 10අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේ වා!, අති උසස් තැන්හි හෝසන්නා!” කියා මොරගැසූහ.

සුබාරංචිය ලූක් 23:35-43

35 සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ. 36 මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා, 37“ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ. 38“ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි.
39එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. 40අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? 41අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. 42තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය. 43උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.

Post a Comment

0 Comments