✟✯ ශු. බෲනෝ මුනිතුමා ✯ ✟

 


මෙතුමා ක්‍රි.ව.1030 දී පමණ ජර්මනියේ කොලෝන් හි උපත ලැබීය. ඔහු ප්‍රංශයේ රයිම්ස් හී පිහිටි විශ්ව විද්‍යාලයක දේව ධර්මය පිළිබඳ අධ්‍යාපනය ලැබූ අතර අධ්‍යාපන කටයුතු අවසන් කර නැවත කොලෝන් වෙත ගිය මෙතුමා 1055 දී පූජාත්වරය ලබන ලදි.   

1056 දී රයිම්ස් හි අගරදගුරුතුමන් ඉල්ලීම මත රයිම්ස් වෙත පැමිණි මෙතුමා රයිම්ස්හි රදගුරු විද්‍යාලයේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලදි. ඔහු වසර 20 ක පමණ කාලයක් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂක ධුරය හෙබවීය. මේ කාලයේ දී ඔහු දර්ශනය සහ දේවධර්මය ඉගැන්වූ අතර ඔහුගේ ශිෂ්‍යයන් අතර සිටියෙකු පසුව දෙවන උර්බාන් සුදතුම් පියා ලෙස ‌පත්විය.

1076 අගභාගයේදී, බෲනෝ තමන් දැරු සියලුම තනතුරු අතහැර යාමට තීරණය කළේ නගරයේ වැදගත් ආයතන කිහිපයක් අතර ඇතිව තිබූ ගැටුම් හේතුවෙනි. 1080 දෙසැම්බර් 27 වන දින VII වන ග්‍රෙගරි පාප්තුමාන් විසින් මෙම ගැටුම් වලට මුල් වූ අගරදගුරුවරයා පහ කොට නව අයෙකු තෝරා පත් කර ගන්නා ලෙස රයිම්ස්හි පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ප්‍රංශයේ ඉහළම කතෝලික සභා තනතුරක් වන මෙම ඉහළ වගකීම සහ බලය සහිත තනතුර සඳහා බෲනෝ තෝරා ගන්නා ලදී. නමුත් මෙතුමාට තම ජීවිතය පිළිබඳ වෙනත් සැලසුම් තිබුණි.

තම ජීවිතය මුළුමනින්ම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කැප කරමින් හුදෙකලා ජීවිතයකට ඇතුළුවීමට ඔහු තීරණය කර තිබුණි. ග්‍රෙනොබල් හි හියු රදගුරුතුමන් ගේ මඟ පෙන්වීම යටතේ ඔහු සහ තවත් සගයන් හයදෙනකු චාර්ට්රූස් කාන්තාරයේ කෙළවරට ළඟා වූයේ දළ වශයෙන් ජුනි 24 වන ශුද්ධ වූ ස්නාවක ජුවාම් මුනිඳුන් ගේ මංගල්‍යය දින ය.

අවුරුදු හයක පමණ කාලයක් පුරා ඔහු තම සහෝදරයන් සමඟ එම තෝරාගත් ජීවිතය ගත කරන අතරතුර 1090 මුල් මාසවලදී, ඔහුගේ හිටපු ශිෂ්‍යයෙකු වූ II වන උර්බා් පාප්තුමන් සභාවේ සේවයට උදව් කිරීම සඳහා ඔහුව රෝමයට කැඳවූ නමුත්, මාස කිහිපයකට පසු, බෲනෝ තම තාපස ජීවිතයට නැවත යාමට පාප්තුමාගේ අවසර ලබා ගත්තේය.

ක්‍රි ව 1101 ඔක්තෝබර් 06 වන දින එතුමන් සග ලොව දිනා ගත් අතර ක්‍රි ව 1514 අති උතුම් දස වන ලියෝ ශුද්ධෝත්තම හිමිපාණන් විසින් මෙතුමාව භාග්‍යවරයට ඔසවන ලදි. ක්‍රි ව 1623 පෙබරවාරි 17 වන දින අති උතුම් පහලොස්වන ග්‍රෙගරි ශුද්ධෝත්තම හිමිපාණන් විසින් එතුමාව ශුද්ධවන්ත භාවයට එසවීම සිදු කරන ලදි.

Post a Comment

0 Comments