✟✯🌷 ශු. මේරි ෆවුස්තිනාතුමිය 🌷✯ ✟



 ෆවුස්තිනා කොවල්ස්කා උපත ලබන්නේ 1905 අගෝස්තු 25 වන දින පෝලන්තයේ ග්ලොගොවික් ග්‍රාමයේ බැතිමත් දිළිඳු යුවළකට දාව උපන් දරුවන් දස දෙනාගෙන් තුන් වැන්නා ලෙස ය. හෙලේනා යනු ඇයට ලැබුණු බෞතිස්ම නාමය විය. කුඩා කාලයේ පටන් ඇය යාඤාව කෙරෙහි ගැඹුරු ඇල්මක් දැක්වූ අතර කීකරු කමින් සහ නිවසේ වැඩ කටයුතු කරමින් ද දුප්පතුන් කෙරෙහි ද සංවේදී ජීවිතයක් ගත කළාය.

වයස අවුරුදු හත වන විට ඇය තුළ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ ආශාවක් ඇති වූ අතර ඇය ප්‍රථම වතාවට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තේ වයස අවුරුදු 9 දී ය. එම මොහොත ඇයගේ ජීවිතයට ගැඹුරු අධ්‍යාත්මික අත්දැකීමක් එක් කළ අවස්ථාවක් විය. වසර තුනකට පමණක් සීමා වූ ඇගේ පාසල් අවදියෙන් පසු කන්‍යාරාමයකට ඇතුළු වීමට අදහස් කළ ද ඇයට දෙමවුපියන්ගේ අනුමැතිය නොලැබිණි. වයස අවුරුදු දහසයෙන් පසු ඇය තම නිවසෙන් බැහැරව ගොස් ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කොට තම පවුලේ නඩත්තුව වෙනුවෙන් කටයුතු කළාය.

එහෙත් හෙලේනා තම සිත තුළ තිබූ පැවිදි ජීවිතයට ඇතුළු වීමේ අදහස අත් නොහැරිය අතර ජේසුස් වහන්සේගේ දුක් විඳීමේ දර්ශනයකින් අනතුරුව 1925 අගෝස්තු 01 වන දින ඇයට දයාවේ අප ස්වාමිදූගේ පැවිදි නිකාය ට ඇතුළු වීමට හැකි විය. එහිදී ඇය දිව්‍ය සත්ප්‍රසාදයේ මේරි ෆවුස්තිනා පැවිදි සොයුරිය යන නම ලබාගත්තාය. වසර දහ තුනකට ආසන්න කාලයක් තම නිකායේ විවිධ නිවාස වල මුළුතැන්ගෙයි සහ ගෙවත්තේ පමණක් නොව බඩු බාහිරාදිය රැගෙන යාම වැනි වැඩ කටයුතු වල ද ඉතා බැහැපත්ව ෆවුස්තිනා නිරත විය.

බාහිර ආකාරයෙන් ඇයගේ අධ්‍යාත්මික ජීවිතය තුළ කැපී පෙනන ලක්ෂණයන් පෙන්නුම් නොකළද ඇය පුදුමාකාර වූ ජ්වලිත භාවයකින් යුතුව තමන් වෙත පැවරුණු කාර්යයන් ඉටු කළාය. ඒකාකාරී ජීවිත රටාවක් ඇයගේ ජීවිතය පැවතුණ ද අසාමාන්‍ය වූ සහ ගැඹුරු අධ්‍යාත්මික සම්බන්ධකමක් දෙවියන්වහන්සේ හා ඇය නිතරම පවත්වාගෙන ගියාය. 

අසරණ වූ ආත්මයන් වෙනුවෙන් විශේෂාකාරයෙන් යදිමින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කෙරෙහි ගැඹුරු ආදරයක් සහ දයාවේ දේවමාතාවන් කෙරෙහි ගැඹුරු භක්තියක් දක්වමින් ඇය සැමවිටම ජීවත් වූවාය.

ජේසුස් වහන්සේ ෆවුස්තිනා පැවිදි සොයුරිය ව තම දේව දයාවේ අපෝස්තුලුවරිය ලෙස තෝරා පත් කර ගත් සේක. 'මාගේ ආත්මයේ දේව දයාව' නමින් දිනපොතක් සටහන් කරමින් ඇය නිරන්තරයෙන් දේව දයාවේ සමිදුන්ගේ පණිවිඩය ලොවට ගෙන හැර පෑවාය. පසු කලෙක තමන් වෙත වැළදුණු ක්ෂය රෝගය සියලු පව්කාරයන් වෙනුවෙන් තමන් විසින් කරනු ලබන පූජාවක් ලෙස ඇය ඔප්පු කළා ය. 1938 ඔක්තෝබර් 05 වන දින වයස 33 දී ඇය අවසන් හුස්ම හෙළන ලදී.

1993 අප්‍රේල් 18 වන දින අති උතුම් ii වන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමන් විසින් ඇයව භාග්‍යවරයට ඔසවන ලද අතර  2000 අප්‍රේල් 30 වන දින එතුමන් විසින්ම ඇයව සාන්තුවරභාවයට පත් කරන ලදි. 

Post a Comment

0 Comments