✟✯ ශාන්ත තියඩෝර් ගුරින් ✯ ✟

 


ශාන්ත තියඩෝර් ගුරින්, 1798 ඔක්තෝබර් 2 වන දින ප්‍රංශයේ බ්‍රිටනි හි ඈන් තෙරෙස් ගුරින් ලෙස උපත ලැබීය. මෙකල ප්‍රංශ රජය දැඩි ලෙස කතෝලික විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළ අතර දෙව්සත්හල් සහ දේවස්ථාන වසා දමා පූජකයන් සහ පැවිදිවූවන් සහ විශ්වාසිකයන් අත්අඩංගුවට ගන්නා ලදි. ඇගේ දෙමව්පියන් ඉතා භක්තිමත් කතෝලිකයන් වූ අතර පූජාප්‍රසාදිතුමෙක් වීමට සූදානම්ව සිටි ඇගේ ඥාති සොහොයුරා ඇගේ නිවසේ සැඟවී වාසය කරන ලදි.  ඇදහිල්ල පිළිබඳව ඔහු ඇයට තරයේ උපදෙස් දුන් අතර කුඩා අවධියේදී පවා ඇය දේවධර්මය පිළිබඳ උසස් දැනුමක් පෙන්නුම් කළාය.

මෙතුමිය වයස අවුරුදු 26 දී දේව සංරක්ෂණයේ පැවිදි නිකායට (ප්‍රොවිඩන්ස්) ඇතුළු වී ආගමික අධ්‍යාපනය සඳහා කැප වූවාය. ඇයගේ බුද්ධිමය හැකියාවන් බලවත් වූ අතර ඇයගේ ජයග්‍රහණ  ප්‍රංශ ඇකඩමියේ පවා  පිළිගැනීමට ලක්විය.

1840 දී මෙතුමියව ඇමරිකාවේ ඉන්දියානා වෙත පිටත් කරන ලද්දේ  වින්සෙනස් රදගුරු පදවියේ දේව සංරක්ෂණයේ පැවිදි නිකායේ (ප්‍රොවිඩන්ස් සහෝදරියන්ගේ) කන්‍යාරාමයක් ආරම්භ කිරීමටය. එහිදී ඇය කතෝලික අධ්‍යාපනය ලබා දීමට පුරෝගාමී වූ අතර ඉන්දියානා හි ප්‍රථම බාලිකා නේවාසික පාසල විවෘත කරමින් එවකට පැවති කතෝලික විරෝධයට එරෙහිව සටන් කළාය. විශේෂයෙන් ඉන්දියානා සහ නැගෙනහිර ඉලිනොයිස් හි අධ්‍යාපනයේ දියුණුව සඳහා ඇය කැපවී ක්‍රියා කළාය. ඉන්දියානා ප්‍රදේශයේ ශාන්ත මරියා හි ශාන්ත මරියා විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක් ආරම්භ කිරීම; ඉන්දියානා හි වින්සන්ස් හි රෝමානු කතෝලික රදගුරු පදවියෙහි අනාථ වූ, රෝගී වූ සහ දුප්පතුන් රැක බලා ගැනීම සඳහා ඇය ක්‍රියාත්මක විය. 

ඇදහිල්ල, බලාපොරොත්තුව සහ දෙවියන් වහන්සේ කෙරෙහි වූ ප්‍රේමය පිළිබඳ වීරෝදාර සාක්ෂිකාරිය ලෙස ඇය ප්‍රසිද්ධය. 

ප්‍රංශ-ඇමරිකානු සාන්තුවරියක් වන ඇය ශාන්ත මරියාවන්ගේ දිව්‍ය සංරක්ෂණයේ පැවිදි සොහොයුරියන්ගේ (Sisters of Providence of Saint Mary-of-the-Woods ) නිර්මාතෘවරිය වේ. එය ඉන්දියානා මුල් කොට ගත් කතෝලික පැවිදි නිකායක් වේ. 1998 ඔක්තෝබර් 25 වෙනිදා II වන ජුවාම් පාවුලු පාප් තුමා මෙතුමියව භාග්‍යවරයට එසවූ අතර 16 වන බෙනඩික්ට් පාප් තුමා  2006 ඔක්තෝබර් 15 වන දින රෝමානු කතෝලික සභාවේ සාන්තුවරියක් ලෙස ඇය නම් කරන ලදී. අසනීපයකින් පසු ඇය 1856 මැයි 14 දින මිය ගිය අතර මෙතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් 3 වන දින සමරනු ලබයි.  

වැඩි දුර තොරතුරු සඳහා....

https://spsmw.org/

https://www.facebook.com/sistersofprovidence/

Post a Comment

0 Comments