✟✯🌷 රැකවල් දේවදූතයන්ගේ මංගල්‍යය🌷✯ ✟

 



''ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක. ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය.'' - ගීතාවලිය 91:11

සෑම මනුෂ්‍ය ආත්මයක්ම ආත්මික හා ශාරීරික නපුරෙන් ආරක්ෂා කරන රැකවල් දේවදූතයෙක් සිටින බව අප විශ්වාස කරන අතර ඒ් බව පැරණි ගිවිසුම පුරාම පෙන්වා ඇති අතර එය නව ගිවිසුමේ ද ඉතා පැහැදිලිව දක්වා ඇත.

ගෙත්සෙමනේ උයනේදී දේවදූතයෙක් විසින් ජේසු සමිඳාණන් වහන්සේ ශක්තිමත් කළ බවත්, අපොස්තුළු තුමන්ගේ ක්‍රියා පොතේ දේවදූතයෙක් පේදුරුතුමාව සිරගෙයින් නිදහස් කළ බවත් සඳහන් වී ඇත.


“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි. (මතෙව් 18:10). ජේසුස් වහන්සේ රැකවල් දේව දූතයින්ගේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය පැහැදිලි කර ඇත.

මෙසේ ප්‍රකාශ කිරීමෙන් ජේසුස් වහන්සේ පෙන්වා දෙන්නේ සියලුම මිනිසුන්ට, කුඩා දරුවන්ට පවා රැකවල් දේවදූතයෙක් සිටින බවත්, දේවදූතයන් සැමවිටම ස්වර්ගයේ සිටින බවත්, සිය මෙහෙවර පුරාම දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බලා සිටින බවත්, ඔවුන් අපට මඟ පෙන්වන බවත් ආරක්ෂා කරන බවත්. 

''එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.'' (හෙබ්‍රෙව් 1,14) 

කෙසේ වෙතත්, ඔවුන් අපට ස්වර්ගයට මඟ පෙන්වන්නේ අපට අවශ්‍ය නම් පමණි. දේවදූතයන්ට අපගේ කැමැත්තෙන් හෝ බුද්ධිය මත සෘජුව ක්‍රියා කළ නොහැකි බව ශාන්ත තෝමස් ඇක්වයිනාස්තුමා ලියා ඇත. නමුත් අපේ ඉන්ද්‍රියයන් හා පරිකල්පන මත එය කළ හැකි නමුත් නිවැරදි තීරණ ගැනීමට ඔවුන් අපව දිරිමත් කරයි. ස්වර්ගයේ දී අපේ දේව දූතයින්ට ගැලවීම සඳහා අපට මඟ පෙන්වීම අවශ්‍ය නොවුවත්, ඔවුුුන් අපව නිරන්තරව ආලෝකමත් කරනු ඇත.

දේවදූතයන් වෙත යාච්ඤා කිරීමට සභාව අපව දිරිගන්වන අතර, ඔවුන්ගේ පැමිණීම සහ සහයෝගය මතක තබා ගැනීමේ පුරුද්ද ඔවුන් සමඟ මිත්‍රශීලී වීමට හේතුවක් වේ. අවම වශයෙන් 12 වන සියවසේ ආරම්භයේ සිටම රැකව් දේව දූතයින්ට කළ යාච්ඤා කළ බවට සාධක සභා ඉතිහාසය තුළ තිබේ.

''පියාණන් වහන්සේ විසින් අප මත තබා ඇති උපදේශකයින් සහ ආරක්ෂකයින් වශයෙන් අපි උන්වහන්සේගේ දේවදූතයන්ට ආදරය කරමු. ඔවුන් විශ්වාසවන්ත ය; ඔවුන් විචක්ෂණශීලී ය; ඔවුන් බලවත් ය; අපි ඔවුන්ව අනුගමනය කරමු, අපි ඔවුන්ට සමීපව සිටිමු, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ රැකවරණයෙහි අපි රැඳී සිටිමු. ” ක්ලෙයාර්වොක්ස්හි ශාන්ත බර්නාඩ්තුමා එසේ ප්‍රකාශ කර ඇත.

Post a Comment

0 Comments