꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 30 ✟✟☬༒☆꧂

 


ළමුවන කියවීම සලමොන්ගේ ප්‍රඥාව 11:22-12:2

22ඔබ අබිමුව මුළු ලොව තරාදිය උස් පහත් කළ හැකි දූවිලි කුඩක් හා සමාන ය.
පොළොවට වැටෙන උදය කාලයේ මීදුම් බිඳක් හා සමාන ය.
23එහෙත්, ඔබට සියල්ල කළ හැකි බැවින් ඔබ සියල්ලන් හට දයාන්විත ය.
මිනිසුන් තම පව් ගැන පසුතැවී සිත් හරවා ගන්න පිණිස ඔබ ඔවුන්ගේ පාප ගැන නොසැලෙන්නෙහි ය.
24එසේ ය, මිහි මත ඇති සියල්ලට ඔබ ප්‍රේම කරන සේක.
ඔබ විසින් සාදන ලද කිසිවක් ඔබ පිළිකුල් නොකරන සේක.
මන්ද, ඔබ යමකට ද්වේෂ කළ සේක් නම්, ඔබට එය නොසාදන්න ඉඩ තිබිණි.
25ඔබට අභිමත නොවූ සේක් නම්, යමක් පවතින්නේ කෙසේ ද?
ඔබ නොසෑදූ සේක් නම්, යමක් ආරක්ෂා වන්නේ කෙසේ ද?
26සමිඳුනි, ජීවමාන සියල්ලට ප්‍රේම කරන්නාණෙනි, සියල්ල ඔබ සතු බැවින් ඔබ සියල්ල ම ආරක්ෂා කරන සේක.

සියල්ල තුළ ඔබේ අමරණීය ආධ්‍යාත්මය විනිවිද යයි.
1සමිඳුනි, වරද කරන්නන් ඔබ ක්‍රමක්‍රමයෙන් හරිගස්වන සේක.
2ඔබ කෙරෙහි විශ්වාසය තබා ඔවුන් නපුරෙන් ඈත් වනු පිණිස ඔවුන් වරද කළ සැටි ඔබ ඔවුන්ට පෙන්වා දී ඔවුන්ට අවවාද කරන සේක.

පිළිතුරු ගීය ගීතාවලිය 145:1-2, 8-9, 10-11, 13,14

පිළිතුර මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.

1මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි.
ඔබ නම සදාකල් ම පසසමි.
2සැම දා ඔබට තුති පුදමි;

සදාකල් ඔබ නම පසසමි. 
පිළිතුර මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.
සමිඳාණෝ දයාවන්ත ය.
අනුකම්පාවෙන් පූර්ණ ය;
වහා නොකිපෙන සුලු ය;
තිරසර පෙමින් යුතු ය.
9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක;
එතුමාණන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.
පිළිතුර මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.
10සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි;
ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.
11ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති.
ඔබේ බල මහිමය ගැන ද කතා කරති.
පිළිතුර මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.
13 ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය.
සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.
තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
පිළිතුර මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.
14වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක.
නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.
පිළිතුර මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.

දෙවන කියවීම 2 තෙසලෝනික 1:11-2:2

11අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු. 12තවද අපගේ දෙවියන් වහන්සේගේ ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ද වරප්‍රසාදය කරණකොටගෙන අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ අතර ගෞරවයට පැමිණෙන පිණිස ද, ඔබ උන් වහන්සේගෙන් ගෞරවය ලබන පිණිස ද, අපි යාච්ඤා කරමු. 1 සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය. 2සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. 

ආලේලූයියා ජොහන් 3:16

16“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

සුබාරංචිය ලූක් 19:1-10

1උන් වහන්සේ ජෙරිකෝවට පිවිස, ඒ මැදින් ගිය සේක. 2සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය. 3ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය. 4ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය. 5ජේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා, ඔහුට කතා කොට, “සාකෙවුස්, වහා ම බිමට බසින්න, අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑ ය”යි ඔහුට වදාළ සේක. 6ඔහු වහා ම බැස, අවුත්, ප්‍රීතියෙන් උන් වහන්සේ පිළිගත්තේ ය. 7ඒ දුටු සියල්ලෝ, “උන් වහන්සේ පව්කාර මනුෂ්‍යයකු සමඟ නවාතැන් ගන්නට ගිය සේකැ”යි කියමින් කොඳුළෝ ය. 8සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය. 9ජේසුස් වහන්සේ කතා කරමින්, “ගැළවීම අද මේ ගෙදරට පැමිණ ඇත; මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙකි. 10 මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.

Post a Comment

0 Comments