꧁☆༒☬✟✟ 2022 ඔක්තෝබර් 12 ✟✟☬༒☆꧂

 


 පළමුවන කියවීම ගලාති5:18-25

8එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය. 19මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම, 20රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්, 21වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.
22එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, 23මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත. 24ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත. 25අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු. 26නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.
පිළිතුරු ගීය ගීතාවලිය 1:1-2, 3, 4 AND 6

පිළිතුර - මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
පිළිතුර - මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය
3 ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය;
ඔහු කරන සැම දේ සරු සාර වේ.
පිළිතුර - මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය
4පවිටු දනෝ එසේ නොවෙති;
ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
පිළිතුර - මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය
6දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක.
පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.
පිළිතුර - මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය
ආලේලූයියා   10:27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති
සුබාරංචිය ලූක් 11:42-46
42  “පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය. 43පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය. 44ඔබට වන විපතක මහත! ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ මත ඇවිදින අය, නොදැන එසේ කරති.”
45විනයධරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඔබ මෙ‍සේ කීමෙ‍න් අපටත් අපහාසයක්, කරන සේකැ”යි කී ය. 46උන් වහන්සේ ඔහුට මෙ‍සේ පිළිතුරු දුන් සේක: “විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය. 

Post a Comment

0 Comments