✟✯✯විලනෝවා හි සාන්ත තෝමස් මුනිතුමා✯ ✯ ✟

 



අද සැප්තැම්බර් මස 22වන දින සාන්ත සභා මාතාව අගුස්තීනු නිකායික අගරදගුරු විලනෝවාහි සාන්ත තෝමස් මුනිතුමා සිහි කරනු ලබයි. 1488 විලනෝවාහි උපත ලැබූ මෙතුමා දෙමාපියන්ගේ ‌කිතුනු විශෟවාසය මත හැදී වැඩිණි. මෝල් හිමිකරුවෙක් වූ මෙතුමාගේ පියා මෙන්ම මවද නිතරම දිළිඳුන්ට ආහාරපාන ලබා දීම සිදු කළ අතර කුඩා තෝමස් ගාර්ෂියා ද හැදී වැඩෙන්නේ යහපත් ත්‍යාගශීලී පවුල් පරිසරයක් තුළය.

 වයස අවුරුදු දහසය වන විට ඇල්කාලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර වසර දහයකට පසුව එම විශ්ව විද්‍යාලයේම දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක් බවට පත්වීමේ හැකියාව ලැබිණි. කෙසේ වෙතත් තෝමස් තම අධ්‍යයන ජීවිතය දිගටම නොකිරීමට තීරණය කළේය. ඔහුගේ පියාගේ අභාවයෙන් පසු, ඔහු තම උරුමයෙන් වැඩි කොටසක් තමාටම තබා ගැනීමට වඩා දුප්පතුන් හා රෝගී අයට ලබා දීමට තීරණය කළේය. වයස අවුරුදු 28 දී, බොහෝ කල්පනා කිරීමෙන් පසු තෝමස් අගුස්තීනු නිකායට ඇතුළත් වී නිර්මලකම, දිළිඳුබව සහ කීකරුකමේ ජීවිතය වැළඳ ගත්තේය.

1518 දී පූජකයෙකු ලෙස පැවිදි දිවියට ඇතුළත් වන මෙතුමා දේවධර්මය උගන්වමින් සලාමන්කා ප්‍රදේශයේ දේවස්ථාන වල චතුර ලෙස දේශනා කිරීම නිසා ප්‍රසිද්ධියට පත් විය. මෙය ශුද්ධ රෝම අධිරාජ්‍යයා වූ V  වන චාල්ස් උපදේශකයෙකු ලෙස ඔහු පත් වීමට හේතුකාරක විය.

අගරදගුරු තනතුර කිහිප විටක් ප්‍රතික්ෂේප කළ මෙතුමා 1544 අගෝස්තු මාසයේදී, වැලෙන්සියා අගරදගුරු ලෙස ඔහුගේ පත්වීම පිළිගන්නා ලෙස ඔහුගේ ආගමික උසස් නිලධාරීන් ඔහුගෙන් කළ ඉල්ලීමට කීකරුවෙමින් වැලෙන්සියා නගරයේ අගුරදගුරු තනතුර භාර ගන්නා ලදි. 

දිළිඳුන්ට විශේෂ සැළකිල්ලක් දැක්වූ මෙතුමා අගරදගුරු මැදුර අලංකාර කිරීම සඳහා පරිත්‍යාගයක් ලබා දුන් විට එම මුදල් අලුත්වැඩියා කිරීම අවශ්‍යව තිබූ රෝහලකට පරිත්‍යාග කළේය. ඔහු ගේ අගරදගුරු පදවියට අයත් ප්‍රාදේශීය බන්ධනාගාර වෙත ගොස් නිරතුරුවම සිරකරුවන්ගේ අධ්‍යාත්මික අවශ්‍යතා මෙන්ම ඔවුන්ගේ  ජීවන තත්ත්වය ද මෙතුමා පිරික්සා බලන ලදි. 

පැවිදි දිවියට විශ්වා්වා්වා වෙමින්ව මෙම අගරදගුරු තුමා ඇදහිලිවන්තයන්ගේ අධ්‍යාත්මික ජීවිතය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට කටයුතු කළේය. දුප්පතුන්ගේ අවශ්‍යතා කෙරෙහි ඔහු විශේෂ අවධානයක් යොමු කළ අතර, ඔවුන්ට පෝෂණය කිරීම සහ නවාතැන් දීම ආදිය සදහා අගරදගුරු මැදුර ද යොදා ගන්නා ලදි. 

වැලෙන්සියා හි අගරදගුරු පදවියට පත්ව සර 11 කට පසු මෙතුමා 1555 සැප්තැම්බර් 8 වන දින  හෘදයාබාධයකට ගොදුරු වී මිය ගිය බව කියවේ. VII වන ඇලෙක්සැන්ඩර් පාප්තුමා 1658 දී මෙතුමාව සාන්තුවරභාවයට ඔසවන ලදි. 

Post a Comment

0 Comments