꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 18 ✟✟☬༒☆꧂

 



පළමුවන කියවීම ආමොස් 8:4-7

දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න. 5ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය; 6අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”
7ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි.

පිළිතුරු ගීය ගීතාවලිය 113:1-2, 4-6, 7-8

පිළිතුර - මිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;

1සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
2මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
පිළිතුර - මිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
4සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක.
එතුමාණන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
5අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත;
එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.
6එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.
පිළිතුර - මිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
7එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.
8එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.
පිළිතුර - මිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දෙවන කියවීම 1 තිමෝති 2:1-8
1සියල්ලට ම ප්‍රථමයෙන්, සෑම දෙනා වෙනුවෙන් අයැදුම් ද යාච්ඤා ද ඉල්ලීම් ද ස්තුති දීම් ද ඔප්පු කළ යුතු බව මගේ අවවාදය යි. 2භක්තියෙන් හා ගෞරවයෙන් යුක්ත ව, සාමකාමී තැන්පත් ජීවිතයක් අපට ගත කළ හැකි වන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් උදෙසා ද යාච්ඤා කළ යුතු ය. 3මෙය මිදුම්කාර දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ය. ප්‍රසන්න ය. 4සියලු මනුෂ්‍යයන්ගේ මිදීමත්, ඔවුන් සත්‍යය දැනගැනීමත් දෙවියන් වහන්සේගේ කැමැත්ත ය. 5ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මැදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. 6සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක. 7ඒ පිළිබඳ දේශනාකාරයෙකු ද අපෝස්තුළුවරයෙකු ද ලෙස මා පත් කරනු ලැබුවේ විජාතීන්ට සත්‍ය ඇදහිල්ල උගන්වන පිණිස ය. මා මේ කියන්නේ බොරුවක් නොව සත්‍යයක් ම ය.
8එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව, සැදෑ සිතින් දොහොත් නඟා, යාච්ඤා කරන්නේ නම් මම කැමැති වෙමි.

ආලේලූයියා 2 කොරින්ති  8:9

9අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ත්‍යාගශීලී කරුණාව ඔබ දන්නහු ය. උන් වහන්සේ ධනවත් ව සිටි නමුත්, තමන් වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ ධනවත් වන පිණිස ඔබ උදෙසා දිළිඳු වූ සේක.

සුබාරංචිය ලූක් 16:1-13  හෝ ලූක් 16:10-13

1ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: “එක් ධනවතෙකුට ගබඩාකාරයෙක් සිටියේ ය. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරති යි ඔහුට පැමිණිලි ලැබිණ. 2එවිට ඔහු ඒ ගබඩාකරු කැඳවා, ‘ඔබ ගැන මට ආරංචි වන මේ කාරණය කුමක් ද? ඔබේ ගබඩාකාර නිලය පිළිබඳ අය වැය මට භාර දෙන්න; මින්පසු ඔබට ගබඩාකාර නිලය දැරිය නොහැකි ය’යි කී ය. 3ගබඩාකාරයා ද, ‘මාගේ ස්වාමියා ගබඩාකාර නිලයෙන් මා අස්කරන්නට යන නිසා මම කුමක් කරම් ද? බිම් කෙටීමට මට ශක්තිය නැත; හිඟාකෑමට ලජ්ජා වෙමි. 4ගබඩාකාර නිලයෙන් මා අස් කළ විට මිනිසුන්ගේ ගෙවල ඉඳුම්හිටුම් ලබාගැනීමට කළ යුතු දේ මම දනිමි’යි සිතින් සිතාගත්තේ ය. 5මෙ‍සේ ඔහු තම ස්වාමියාගේ ණයකාරයන් එක් එක්කෙනා බැගින් කැඳවා, පළමුවැනියාට කතා කොට, ‘මාගේ ස්වාමියාට ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. 6‘තෙල් පීප්ප සියයකැ’යි ඔහු කීවේ ය. ගබඩාකාරයා කතා කොට, ‘ඔබේ බිල ගෙන වහා ම හිඳගෙන පණසක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 7තවත් කෙනෙකුගෙන්, ‘ඔබ කොපමණ ණය දැ’යි ඇසී ය. ‘තිරිඟු බුසල් දහස කැ’යි ඔහු කී ය. ‘ඔබ බිල ගෙන අට සියයක් කියා ලියන්නැ’යි ඔහුට කී ය. 8ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.
9“එබැවින් මම ඔබට කියමි, ලෞකික වස්තුවෙන් මිතුරන් සපයාගන්න; වස්තුව නිම ව ගිය කල ඔවුන් ඔබ සදාතන විමානවලට පිළිගනු ඇත. 10අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. 11එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? 12අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? 13 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”
ලූක් 16:10-13
10අල්ප දේ ගැන විශ්වාසී තැනැත්තේ මහත් දේ ගැනත් විශ්වාසී වෙයි. අල්ප දේ ගැන වංචනික තැනැත්තේ මහත් දේ ගැනත් වංචනික වෙයි. 11එබැවින් ඔබ ලෞකික වස්තුව ගැන විශ්වාස ව නොසිටියාහු නම් සැබෑ වස්තුව ඔබට භාර දෙන්නෝ කවුරු ද? 12අන් සතු දේ ගැන ඔබ විශ්වාස ව නොසිටියහු නම් ඔබට අයිති වන්න යන දේ ඔබට දෙන්නෝ කවුරු ද? 13 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න කිසි සේවකයෙකුට නුපුළුවන; මන්ද, ඔහු එක් කෙනෙකුට වෛර කරන්නේ ය; අනෙක් අයට ප්‍රේම කරන්නේ ය. නොහොත් එක් කෙනෙකුට ලැදි වන්නේ ය; අනික් අය හෙළා දකින්නේ ය. දෙවියන් වහන්සේට හා වස්තුවට එකවිට ම සේවය කරන්නට ඔබට බැරි ය.”

Post a Comment

0 Comments