꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 15 ✟✟☬༒☆꧂


 

පළමුවන කියවීම 1 කොරින්ති 15:1-11

1තවද, සහෝදරවරුනි, මා ඔබට දේශනා කළ සුබ අස්න වෙත ඔබගේ අවධානය දැන් යොමු කරනු කැමැත්තෙමි. ඔබ එය පිළිගත්තහු ය; එහි පිහිටා සිටින්නහු ය. 2ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.

3  මා ඔබට බාර දුන්නේ මා ලබාගත් දෙය ම බව ප්‍රධාන කොට කිව යුතු ය. එනම් ශුද්ධ ලියවිල්ල ප්‍රකාර ක්‍රිස්තුන් වහන්සේ අපගේ පාප උදෙසා මළ බවත්4 වළලනු ලැබූ බවත්, ශුද්ධ ලියවිලි ප්‍රකාර තුන් වන දා උත්ථාන කරනු ලැබූ බවත්5 කේපස්ට හා පසුව දොළොස් දෙනාට දර්ශනය වූ බවත් ය. 6ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති. 7ඉන්පසු උන් වහන්සේ ජාකොබ්ට ද අනතුරුව සියලු අපෝස්තුළුවරුන්ට ද දර්ශනය වූ සේක.

8  අවසන් වශයෙන් අකලට උපන්නෙකු වැනි මට ද උන් වහන්සේ දර්ශනය වූ සේක. 9 මන්ද, මම අපෝස්තුළුවරයන්ගෙන් ඉතා සුළු තැනැත්තා ය. දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කළ බැවින් අපෝස්තුළුවරයෙකැ යි කියනු ලබන්නට වත් මම නොවටිමි. 10එහෙත් මම යම් තත්ත්වයකට පැමිණ සිටිම් ද, එසේ පැමිණ සිටින්නේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ය. උන් වහන්සේ මට දුන් වරප්‍රසාදය නිෂ්ඵල නො වී ය. ඇත්තට ම මම ඔවුන් සියල්ලන්ට ම වඩා බොහෝ සෙයින් වැඩ කෙළෙමි. එහෙත් එසේ කෙළේ මා නොව මා තුළ වූ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ය. 11එබැවින් මා වේවා, ඔවුන් වේවා, අප දේශනා කරන්නේ එක ම පණිවුඩය යි. ඔබ එය අදහාගත්තහු ය.

 

පිළිතුරු ගීය ගීතාවලිය 118:1B-2, 16AB-17, 28

  පිළිතුර - සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය.

     එතුමාණන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය.

         2එතුමාණන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා!

පිළිතුර - සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය.

        16සමිඳුන්ගේ බාහු බලය උදාර ය.

          සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි.

             17මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි;

            සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි.

පිළිතුර - සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය.

          28ඔබ මාගේ දෙවිඳාණෝ ය;

               මම ඔබට ස්තුති කරන්නෙමි.

             ඔබ මාගේ දෙවිඳාණෝ ය;

              මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.

පිළිතුර - සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය.

 

සුබාරංචිය ජොහන් 19:25-27  හෝ ලූක් 2:33-35

25ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය. 26එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, “ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක. 27ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, “මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.

 ලූක් 2:33-35

33උන් වහන්සේ පිළිබඳ ව කී දේ ගැන උන් වහන්සේගේ පියා ද මවු ද මවිත වූ හ. 34සිමියොන් ඔවුන්ට ආශීර්වාද කරමින් උන් වහන්සේගේ මව වූ මරිය තුමීට කතා කොට, “මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී. 35එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙ‍න් තුවාළ වනු ඇත. මෙ‍සේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.

Post a Comment

0 Comments