꧁☆༒☬✟✟ 2022 සැප්තැම්බර් 13 ✟✟☬༒☆꧂

 


පළමුවන කියවීම 1 කොරින්ති 12:12-14, 27-31A

12  මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක. 13මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. 14ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි. 

27එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය. 28 මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට අපෝස්තුළුවරුන් ද දෙවනු ව දිවැසිවරයන් ද තුන්වනු ව ගුරුවරුන් ද ඉන්පසු හාස්කම් කරන අය ද සුව කිරීමේ වරම ලත් අය ද උපකාර කරන්නන් ද පරිපාලනය කරන්නන් ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන් ද සභාවෙහි පිහිටුවා වදාළ සේක. 29සියල්ලෝ ම අපෝස්තුළුවරු ද? සියල්ලෝ ම දිවැසිවරයෝ ද? සියල්ලෝ ම ගුරුවරු ද? සියල්ලෝ ම හාස්කම් කරන්නෝ ද? 30සුව කිරීමේ වරම සියල්ලන්ට ම තිබේ ද? සියල්ලෝ ම විවිධ ශබ්ද ව්‍යවහාර කරත් ද? සියල්ලෝ ම ශබ්ද පහදා දෙන්නෝ ද? 31මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශා වන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි.

පිළිතුරු ගීය ගීතාවලිය  100:1B-2, 3, 4, 5

පිළිතුර - අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.

සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමාණෝ ඉදිරියට පැමිණෙන්න.
පිළිතුර - අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය.
එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
පිළිතුර - අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4තුති පුදා, එතුමාණන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමාණන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
පිළිතුර - අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
5 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
පිළිතුර - අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.

ආලේලූයියා ලූක්  7:16

16 එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. 

සුබාරංචිය  ලූක් 7:11-17

11ඉන්පසු ජේසුස් වහන්සේ නායින් නම් නුවරකට වැඩිය සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ද මහත් සමූහයක් ද උන් වහන්සේ පිරිවරා ගියහ. 12උන් වහන්සේ නුවර දොරටුවට ළං වූ කල, මළ මිනියක් පිටතට ගෙනෙන ලද්දේ ය. මළ තැනැත්තේ, සිය මවගේ එක ම පුත්‍රයා ය. ඈ ද වැන්දඹුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමඟ ආහ. 13සමිඳාණන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට, “හැඬීම නවත්වන්නැ”යි වදාළ සේක. 14උන් වහන්සේ ළං වී දෙණට අත තැබූ සේක. එවිට දෙණ උසුලන්නෝ නැවතුණාහ. උන් වහන්සේ, “යෞවනය, නැඟිටින්නැ යි මම ඔබට කියමි”යි වදාළ සේක. 15එවිට මළ මිනිසා නැඟිට හිඳගෙන කතා කරන්න පටන්ගත්තේ ය. උන් වහන්සේ ඔහු සිය මෑණියන්ට භාර දුන් සේක. 16එකල සියල්ලෝ ම බිය පත් ව, “ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. 17උන් වහන්සේ ගැන මේ පුවත මුළු ජුදයෙහි ද අවට පෙදෙස්වල ද පැතිර ගියේ ය.




Post a Comment

0 Comments