✟✯✯ ශු. රේමන්ඩ් නොන්නාටස් මුනිඳුන් ✯ ✯ ✟

 


මර්සිඩරියානු සම්ප්‍රදායන්ට අනුව, මෙතුමා උපත ලැබුවේ යැයි සලකනු ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1204 වසරේ ස්පාඤ්ඤයේ උර්ගෙල් රදගුරු පදවියේ පෝර්තෙල් ගම්මානයේ ය. මෙතුමා මෙලොවට බිහිවීමට පෙර ඔහුගේ මව මිය යන අතර මිය ගිය මවගේ ගර්භාෂයෙන් ඔහුව පිටතට ගන්නා ලදී.

මෙතුමාගේ පියා බොහෝ උගතකු වූ අතර අර්‌ගොන් රාජධානියේ රාජකීය රැකියාවක් තම පුතා වෙනුවෙන් සැලසුම් කළේය. තම දරුවා ආගමික ජීවිතයට ඇදී යන බවක් දැනුණු ඔහුගේ පියා ඔහුට පවුලේ ගොවිපොළක් බලාගැනීමට අණ කළේය. රේමන්ඩ් තම ළමා කාලය ගත කළේ බැටළුවන් රැකබලා ගැනීමෙන් සහ බොහෝ විට ශාන්ත නිකලස් දේවස්ථානයේ යාච්ඤා කිරීමට යෑමෙනි.

පසුව මෙතුමාගේ පියා බාසිලෝනාහි මර්සිඩරියානු පැවිදි පන්තියට ඇතුළුවීමට අවසර ලබා දුන්නේය. මෙම පැවිදි පන්තිය ආරම්භ කර තිබුණේ උතුරු අප්‍රිකාවේ මුවර්ස් හි කිතුනු වහලුන් මුදවා ගැනීම සඳහාය. එම පැවිදි නිකායේ නිර්මාතෘ ශුද්ධ වූ පීටර් නොලාස්කෝ තුමා විසින්ම රේමන්ඩ් පුහුණු කිරීමෙන් පසුව ක්‍රි.ව. 1222 වසරේ දී පූජකවරය දානය කර පසුව මෙතුමාව නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ලෙස පත් කරන ලදී.

තම නිකායේ අරමුණ ඉටු කිරීම සඳහා වැලෙන්සියාවට යන මෙතුමන් එහිදී කිතුනුවන් 140දෙනෙකු වහල්භාවයෙන් මුදවා ගත්තේය. ඉන් අනතුරුව උතුරු අප්‍රිකාවට යන එතුමන්ට ඇල්ජියර්ස් හී තවත් වහලුන් 250ක් මුදවා ගැනීමට සමත් විය. තවත් වහලුන් 28 දෙනෙකු මුදවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් හිඟ වූ විට ඔවුන්ගේ නිදහස වෙනුවෙන් එතුමන් ප්‍රාණ ඇපකරුවකු ලෙස යටත් විය. එහිදී මූවර්ස්වරුන් විසින් එතුමන්ගේ දෙතොල් රත් කරන ලද යකඩයකින් හිල් කොට අගුලක් දමා දේශනා කිරීම නතර කළ බව ද කියැවේ. 1239 වසරේ දී තම නිකාය විසින් මුදල් ගෙවා එතුමන්ව නිදහස් කොට නැවත ස්පාඤ්ඤයට ගෙන්වා ගන්නා ලදී.

මෙතුමන්ගේ මරණය සිදු වන්නේ ක්‍රි.ව. 1240 වසරේ අගෝස්තු 31 වන දින බාසිලෝනා නගරයේ සිට සැතපුම් 60ක් ඈතින් පිහිටා තිබුණු කර්දෝනා මාලිගයේ දී ය. 1657 වසරේදි අති උතුම් හත්වන ඇලෙක්සැන්ඩර් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් එතුමන්ව ශුද්ධවන්ත භාවයට ඔසවන ලදී .

ශුද්ධ වූ රේමන්ඩ් මුනිඳුන් දරු උපතේ ද ගැබිනි මව්වරුන්ගේ ද අලුත උපන් බිළිඳුන්ගේ සහ වින්නඹු මාතාවන්ගේ ද නාම සාන්තුවරයා ලෙස පිළිගනු ලැබේ.

Post a Comment

0 Comments