2022 මාර්තු 23 බදාදා චතාරික කාලයේ තුන්වන සතිය
පළමු කියවීම ද්විතීය නීති සංග්‍රහය 4:1, 5-9
1මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: “ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.
5“මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය. 6ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, ‘මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද’ කියා ඔවුන් විස්මපත් වනු ඇත.
7“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද? 8මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද? 9පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.
පිළිතුරු ගීය ගීතාවලිය 147:12-13, 15-16, 19-20
12එම්බා ජෙරුසලම!
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක;
තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක. 15 එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක.
එතුමාණන්ගේ වචන යුහු ව පැතිර යයි.
16එතුමාණෝ බැටළු ලොම් මෙන් හිම වස්වන සේක.
අළු මෙන් පිනි කැට විසුරුවන සේක. 19 එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පනත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.
20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක.
ඔව්හු එතුමාණන්ගේ නියමයන් දැන නොගත්තෝ ය.
සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
සුබාරංචියට පෙර ජොහන් 6:63C, 68C
මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
සුබාරංචිය මතෙව් 5:17-19
17“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 18සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 19එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය.
0 Comments