2022 මාර්තු 20 ඉරිදා චතාරික කාලයේ තුන්වන සතිය
පළමු කියවීම නික්මයාම3:1-8A, 13-15
1මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල, 2සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය. 3මෝසෙස්, “මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි”යි තමාට ම කියාගත්තේ ය. 4ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය. 5එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක. 6තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.
13 එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය. 14උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක. 15තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
පිළිතුරු ගීය ගීතාවලිය103: 1-2, 3-4, 6-7, 8, 11
1මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න;
හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.
2මාගේ සිත, සමිඳුන් පසසන්න;
එතුමාණන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.
3එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක;
මාගේ සියලු රෝග සුව කරන සේක.
4මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක;
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක.
6සමිඳාණෝ සාධාරණ ලෙස ක්‍රියා කරන සේක.
පීඩිතයන්ට එතුමාණෝ යුක්තිය ඉටු කරන සේක.
7සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.
8 සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය;
නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.
11 මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
දෙවන කියවීම 1 කොරින්ති10:1-6, 10-12
1 සහෝදරවරුනි, අපේ පියවරුන්ට කුමක් වී දැ යි ඔබට මතක් කර දීමට මම කැමැත්තෙමි. ඔව්හු සියල්ලෝ ම වලාකුළක මඟ පෙන්වීම ලැබූ හ. ඔව්හු සියල්ලෝ ම රතු මුහුදින් එතෙර වූ හ. 2සියල්ලෝ ම වලාකුළක ද රතු මුහුදෙහි ද මෝසෙස් සමඟ සහභාගිකමට බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 3 සියල්ලෝ ම එක ම දිව බොජුන් වැළඳූ හ. 4 සියල්ලෝ ම එක ම අමා පැන් පානය කළහ. ඔවුන් පානය කෙළේ ඔවුන් කැටුව ගිය දිව්‍ය පර්වතයකින් ය. ඒ පර්වතය නම් ක්‍රිස්තුන් වහන්සේ ය. 5 එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.
6 ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.
10 ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔව්හු මාර දූතයා විසින් විනාශ කරනු ලැබූ හ.
11මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි. 12තමා ස්ථීර ව සිටින්නේ යයි සිතන්නා නොවැටෙන ලෙස පරෙස්සම් වන්න.
සුබාරංචියට පෙර මතෙව් 4:17
17 එවක් පටන් ජේසුස් වහන්සේ, “පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.
සුබාරංචිය ලූක් 13:1-9
1ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ. 2උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, “ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි. 3පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය. 4සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද? 5එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.
6උන් වහන්සේ උපමාවක් වදාරමින්, “එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය. 7එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, ‘බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ’යි කී ය. 8ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ. 9ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ’ ”යි කී බව වදාළ සේක.
0 Comments