ශුද්ධවූ සභා මාතාව පෙබරවාරි 23වන දින ස්මර්නාහි ශාන්ත පොලිකාප් මුනිඳුන්ගේ මංගලෝත්සවය සමරනු ලබයි.
ලියොන්ස් හි ඉරනේයස් හා ටර්ටූලියන් යන දෙදෙනාම පොලිකාප්, ජොහාන් අපෝස්තුළුවරයාගේ ශ්‍රාවකයෙකුව සිටි බවට වාර්තා කර ඇත. එසේම ජෙරොම්තුමා ද විසින්ද පොලිකාප්ව, ජොහාන් අපෝස්තුළුවරයා විසින් ස්මර්නාහි රදගුරුතුමා ලෙසින් අභිෂේක කළ බවට වාර්තා කර තිබේ.
ක්‍රි ව. 65 දී උපත ලැබූ පොලිකාප්තුමා රෝමයේ I වැනි ශාන්ත ක්ලෙමන්ට්, අන්තියෝකියේ ශාන්ත ඉග්නාසියුස් වැනි අපෝස්තලික සභා පියවරුන් අතර ප්‍රධාන සභා පියෙකු ලෙස සළකනු ලැබේ. අපෝස්තුළුවරුන්ගේ පාමුල හිඳගෙන ජේසුස් වහන්සේ පිළිබඳව කතා ඔවුන්ගේම දෙතොල් වලින් ඇසීමට ලැබීම කොතරම් නම් භාග්‍යයක්ද? ජේසුස් වහන්සේ සමඟ ගමන් කළ, ජේසුස් වහන්සේව තම දෑත් වලින්ම ස්පර්ශ කළ අය සමඟ ඇවිදීමට ලැබීම හා ඔහුන්ව තම දෑත් වලින්ම ස්පර්ශ කිරීමට ලැබීම කොතරම් භාග්‍යයක්ද ? ජොහාන් අපෝස්තුළුවරයාගේ ශ්‍රාවකයෙකු වීමෙන් පොලිකාප්තුමා ඒ භාග්‍යය ලබා ගත්තේය.
අපෝස්තුළුවරුන්ගෙන් පසුව වහාම ශුද්ධවූ සභාවේ ලේඛක පරපුර ලෙස පත්වූ අපෝස්තලික සභා පියවරුන්ට, දේව වචනය ඉගැන්වීමේ කටයුතු වලදී අපෝස්තුළුවරුන් මුහුණ නොදුන් ගැටළුවකට මුහුණ දීමට සිදුවිය. ජේසුස් වහන්සේව ඇසින් දුටු සාක්ෂිකරුවන් අතුරුදහන් වූ විට කරන්නේ කුමක්ද? ජේසුස් වහන්සේගේ නිවැරදි ඉගැන්වීම් ඉදිරියටත් පවත්වාගෙන යන්නේ කෙසේද? මින් පෙර කිසි දිනෙක දහම ගැන මතු නොවූ නව ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේද? අපෝස්තුළුවරුන්ගේ අභාවයත් සමඟ විවිධ මිථ්‍යා ඉගැන්වීම්, සත්‍ය ඉගැන්වීම් ලෙසින් ඉස්මතු වීම සිදු විය.
කිතුනු පීඩනයද දරුණු වීමට පටන් ගැණුනි. ජනවන්දනාව ගැන මතභේද ද ඉස්මතු වීමට පටන් ගැනුණි. ස්මර්නාහි රදගුරුතුමා ලෙසින් පොලිකාප්තුමා හට මෙයට තිබුණේ එක් පිළිතුරක් පමණි. එනම්, ජේසුස් වහන්සේගේ ජීවිතය අනුකරණය කිරීමයි. අන්තියෝකියේ ඉග්නේසියුස්තුමා, පොලිකාප්තුමා ට පැවසුවේ, “ඔබේ මනස නොසැලෙන පර්වතයක් මෙන් දෙවියන් වහන්සේ තුළ පදනම් වී ඇති” බවයි. මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහිව පොලිකාප්තුමාගේ දැක්ම ඉතා සෘජු එකක් විය. ඉග්නාසියුස්තුමා එම දෘෂ්ටිය දැක පුදුමයට පත්විය. පොලිකාප්තුමා තුළින්, ජේසුස් වහන්සේ කෛරාටික පරිසිවරුන්ට නොබියව මුහුණ දුන් ආකාරය ඔහු දුටුවේය. මාරිකන් මිථ්‍යා ඉගැන්වීම් නායකයා තමාට ස්වයං-ගෞරවය බලාපොරොත්තුවෙන් පොලිකාප්ටතුමා ට පැවසුවේ, "පොලිකාප්, අපව හදුනාගන්න" කියාය. පොලිකාප් ඔහුට ප්‍රතිචාර දැක්වූයේ, "මම ඔබව හඳුනා ගත්තෙමි. ඔව්, මම සාතන්ගේ පුත්‍රයාව හඳුනා ගත්තෙමි" කියාය.
පොලිකාප්තුමා, ජේසුස් වහන්සේ වින්ඳාක් මෙන් දුක් පීඩා වලට මුහුණ දුන්නේය. ඔහුව හැදින්වූයේ, "සුභාරංචියේ ආදර්ශය" කියාය. දිනක් අති ක්‍රෑර ප්‍රාණ පරිත්‍යාග වීමකදී, කිතුනුවන්ට මල්ලව පොර භූමියේදී වන සතුන් පහර දෙන විට රැස්ව සිටි සමූහයා කිතුනුවන්ගේ රුධිරය තව තවත් වැඩියෙන් ඉල්ලා කෑ ගසන ලදි. "අදේවවාදීන්ව සම්පූර්ණයෙන්ම බිම හෙළන්න, පොලිකාප්වත් සොයාගන්න" යනුවෙනි. ඔවුන් සිතුවේ කිතුනුවන් අදේවවාදීන් ලෙසය. මන්ද කිතුනුවන් ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටික දෙවි දේවතාවුන්ව විශ්වාස කළේ නැත. පොලිකාප්තුමා සන්සුන්ව සිටි නමුත් අනෙක් අය ඔහුව නගරයෙන් පිටත ගොවිපලක සැඟවීමට පොළඹවන ලදි. ඔහු තමා දන්නා අය සහ සභාව වෙනුවෙන් යාච්ඤා කරමින් එහි කාලය ගත කළේය. ඔහු යාච්ඤා කරන අතරතුර, ඔහුගේ කොට්ටය ගිනි ගන්නා ආකාරයේ දර්ශනයක් දුටු අතර, එහි අර්ථය තේරුම් ගත් පොලිකාප්තුමා, කිතුනු පීඩකයින් තමන්ව පණ පිටින් පුළුස්සා දැමීමට නියමිත බව තම මිතුරන්ට දන්වා සිටියේය.
පීඩකයින්ගේ සෝදිසි කිරීම් නිසා පොලිකාප්තුමා වෙනත් ගොවිපලකට පළා ගිය නමුත් පිරිමි ළමයින් දෙදෙනෙකුට වධහිංසා පමුණුවා ඔවුන්ගෙන් පොලිකාප්තුමා සිටින තැන දැන ගත්තේය. නිවසේ උඩුමහලේ සිටි පොලිකාප්තුමාට, ඔහුගේ මිතුරන් කුඩා අනතුරු ඇඟවීමක් කළ නමුත් "දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේ" යැයි කියමින් ඔහු එහිම නැවතී සිටීමට තීරණය කළේය. ඉන්පසු පොලිකාප්තුමා පහළට ගොස්, ඔහුව අල්ලා ගැනීමට පැමිණි අය සමඟ කතා කොට ඔවුන්ට ආහාර වේලක්ද ලබා දුන්නේය. එසේ කිරීමෙන් පසු මෙතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තමාට යාච්ඤා කිරීමට පැයක් ලබා දෙන ලෙසයි. ඔහු තමන් දන්නා සෑම කෙනෙකුම සහ සභාව වෙනුවෙන්ද යාච්ඤා කරමින් පැය දෙකක්ම ගත කළේය. ඔහුව අත්අඩංගුවට ගන්නට ආ බොහෝ දෙනෙක් කල්පනා කරන්නට පටන් ගත්තේ මේ ශුද්ධවූ රදගුරුවරයාව අත්අඩංගුවට ගත් යුත්තේ මන්ද යන්නයි. නමුත් එය ඔහුව සබත් දිනයේ දී මල්ලව පොර භූමියට ගෙන යාමෙන් වළක්වා ගත්තේ නැත. මෙතුමා පිටියට පිවිසෙත්ම රැස්ව සිටි සමූහයා, පොලිකාප්තුමා ව දුටු විට ක්‍රෝධයෙන් ගොරවන ලදි. නමුත් තමාව මරා කෑමට බලන් සිටින සමූහයාට ඉහළින් පොලිකාප්තුමාට ස්වර්ගයෙන් හඩක් ඇසුනි: "පොලිකාප් නිර්භීත වෙන්න! මිනිහෙක් වගේ ක්‍රියා කරන්න" යනුවෙනි.
වයස අවුරුදු අසූ හයක් වයසැති මෙම රදගුරුතුමාගේ වයස ගැන සළකා හෝ ඔහුව තමාට භාර දෙන ලෙසට ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය. පොලිකාප්තුමා සන්සුන්ව සමූහයා දෙසට හැරී, ඔවුන් දෙස කෙළින්ම බලා, “අදේවවාදීන්ගෙන් ඉවතට යන්නැ”යි පැවසීය. ආණ්ඩුකාරවරයා දිගින් දිගටම පොලිකාප්තුමාගෙන් ආයාචනා කරමින් ඉල්ලා සිටියේ තම ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් සීසර්ගෙන් සමාව අයැද ඔහුට දිවුරුමක් ලබා දෙන ලෙසය.
නමුත් මෙතුමා පිළිතුරු දෙමින්, "මම සීසර්ට දිවුරුම් දෙනු ඇතැයි ඔබ සිතන්නේ නම්, මම කවුදැයි කියා ඔබ නොදනී. මම කිතුනුවකු බව ඔබට පැහැදිලිව කියන්නමි"යි පැවසුවේය. පොලිකාප්තුමාගේ නිර්භීතකම නිසා, ඔහුව පණපිටින් පුළුස්සා දමන බවට ආණ්ඩුකාරවරයා විසින් ඔහුට පැවසූ නමුත්, පැයක් පුරා දැවෙන ඒ තාවකාලික ගින්න, සදාකාලික නිරා ගින්නට වඩා හොඳ බව පොලිකාප්තුමා දැන සිටියේය. තමාව පණ පිටින් පුළුස්සා දැමීමට බැඳ දමන විට, පොලිකාප්තුමා යාච්ඤා කිරීමට පටන් ගත්තේය. යාච්ඤාව අවසන් කර, "ආමෙන්" යැයි පැවසූ වහාම ගින්න දැල්වෙන්නට පටන් ගැනුණි. ගිනිදැල් ඉහළ නැඟී පොලිකාප්තුමා වටා තිබූ සියල්ලම පාහේ පිළිස්සි විනාශ වී ගියේය. නමුත් පොලිකාප්තුමාට ගින්නෙන් කිසිදු හානියක් නොවීය. එමනිසා ඔවුන් පොලිකාප්තුමා ට පිහි වලින් ඇණ මරාදැමීමට කටයුතු කරන ලදි. පොලිකාප්තුමා වෙතින් ගලා ගිය රුධිරයෙන් ගින්න නිවී ගිය බවත් සදහන් වේ.
පීඩකයන් විසින් කිතුනුවන් හට පොලිකාප්තුමාගේ දේහය භාර දීමට බිය විය. එසේ කළහොත් කිතුනුවන් ඔහුගේ දේහය තබාගෙන එයට ගෞරව භක්තියක් පිරිනැමීමට පටන් ගනු ඇතැයි ඔවුන් බිය විය. ඔවුන් පොලිකාප්තුමාගේ මළකඳ ගිනිතබා විනාශ කිරීමට සැලැස්වූ නමුත්, කිතුනුවන් පොලිකාප්තුමාගේ ඇටකටු කිහිපයක් රහසින් ඉන් ලබාගෙන, එය වර්ශ 155 දී ඇදහිල්ල වෙනුවෙන් නිර්භීතව තම ප්‍රාණය පරිත්‍යාග කළ පොලිකාප්තුමාව සිහිකිරීමටද, ඔහුට ගෞරව කිරීමටද, අනාගත පරපුර කිතුනු පීඩනයන් සඳහා ධෛර්යමත් කිරීමටද යොදා ගන්නා ලදි.

0 Comments