꧁☆༒☬✟✟ 2022 පෙබරවාරි 16 ✟✟☬༒☆꧂



                                2022 පෙබරවාරි 16 බදාදා සාමාන්‍ය සමය හයවන සතිය            

පළමු කියවීම ජාකොබ් 1:19-27

19මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න. 20මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත. 21එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
22එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න. 23මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය. 24ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි. 25එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.
26යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. 27අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.

පිළිතුරු ගීය ගීතාවලිය15:2-3A, 3BC-4AB, 5

1සමිඳාණන් වහන්ස, ඔබේ දෙව් මැදුරෙහි කවරෙකුට සිටිය හැක්කේ ද?
ඔබේ ශුද්ධ කන්දේ කවරෙකුට විසිය හැක්කේ ද?
2නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.
3ගතු කේළාම් නොකියන, මිතුරාට නපුර නොකරන, අසල්වැසියාට එරෙහි ව කට කතා නොපතුරන තැනැත්තාට ය.
4ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය.
සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
5ඔහු මුදල් පොළියට නොදෙයි;
නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය.
මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.

ආලේලූයියා එපීස1:17-18

තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි

සුබාරංචිය මාක්8:22-26

22ඔව්හු බෙත්සයිදාවට පැමිණියහ. එවිට ඇතැමෙක් උන් වහන්සේ වෙත අන්ධයෙකු ගෙනවුත් ඔහු පිට අත් තබන මෙන් ආයාචනා කළහ. 23උන් වහන්සේ අන්ධයා අතින් අල්ලාගෙන ගමෙන් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත් තබා, “ඔබට කිසිවක් පෙනේ දැ”යි ඇසූ සේක. 24ඔහු ද ඇස් ඔසවා, “මිනිස්සු මට පෙනේ; ඔව්හු ගස් වාගේ ය; ඔවුන් ඇවිදිනු මට පෙනේ” යයි කී ය. 25උන් වහන්සේ ඔහුගේ ඇස් පිට යළිත් අත් තැබූ සේක. එවිට ඔහු ඕනෑකමින් බැලී ය; පෙනුම ලැබී ය; සියල්ල පැහැදිලි ලෙස දිටී ය. 26උන් වහන්සේ ඔහු ගෙදර පිටත් කර යවමින්, “ගමේ කිසිවෙකුට මේ ගැන නොකියන්නැ”යි වදාළ සේක.



Post a Comment

0 Comments