2022 ජනවාරි 25 අගහරුවාදා සාමාන්‍ය සමය තෙවන සතිය
පළමු කියවීම ක්‍රියා 9:1-22
1එකල සාවුල් තවදුරටත් ජේසුස් සමිඳාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, 2ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.
3මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. 4ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි. 5“ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. “මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය. 6නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය. 7ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. 8සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ. 9ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය.
10දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. 11සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි. 12තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මිනිසෙකු පැමිණ තමා පිට අත් තබනු ඔහුට දර්ශනය වී ය”යි වදාළ සේක. 13එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. 14මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය. 15එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. 16ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක.
17අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. 18එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, 19කෑම කා යළිත් ශක්තිය ලැබී ය.
සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය. 20ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය. 21ඒ ඇසූ සියල්ලෝ අතිශයින් මවිත ව, “මෙම නාමයෙන් යාච්ඤා කරන්නන් ජෙරුසලමේ දී වනසා දැමූ තැනැත්තා මොහු නොවේ ද? මොහු මෙහි ආයේත් ඔවුන් අත්අඩංගුවට ගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහසින් නොවේ දැ”යි කී හ. 22එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය.
පිළිතුරු ගීය ගීතාවලිය 117:1BC, 2
1 සකල ජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න.
සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න.
2මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය,
එතුමාණන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය.
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
ආලේලූයියා ජොහන්15:16
16 ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
සුබාරංචිය මාක් 16:15-18
15 උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල මානව සංහතියට සුබ අස්න දේශනා කරන්න; 16අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.
0 Comments