2022 ජනවාරි 21 සිකුරාදා සාමාන්‍ය සමය දෙවන සතිය
පළමු කියවීම 1 සාමුවෙල් 24:3-21
3සාවුල් මාර්ගයෙහි තිබුණ බැටළු ගාලකට පැමිණ ශරීරකෘත්‍යය සඳහා එහි තිබුණු ගුහාවකට ඇතුළු විය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ගුහාවේ අහු මුලු වල සිටියෝ ය. 4දාවිත්ගේ සෙනඟ කතා කොට, “මෙන්න, හරි අවස්ථාව පැමිණ තිබේ. සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබේ සතුරා ඔබේ අතට පාවා දී ඇත. ඔබ කැමැති දෙයක් ඔහුට කරන්නට ඔබට හැකි ය”යි කී හ. එවිට දාවිත් නැඟිට සාවුල්ගේ සළුවේ කොන රහසින් කපා ගත්තේ ය. 5සාවුල්ගේ සළුවේ කොන කපාගත් බැවින් පසුව දාවිත්ගේ සිත ඔහුට දොස් තැබුවේ ය. 6ඔහු සිය සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධ ව අත් ඔසවා අනතුරක් කිරීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක්වා; මන්ද, ඔහු සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා ය”යි කීවේ ය. 7මෙසේ සාවුල්ට අනතුරක් කරන ලෙස දාවිත් තමාගේ සෙනඟට ඉඩ නෑර මේ වචනවලින් ඔවුන් වළක්වා ගත්තේ ය. සාවුල් ගුහාවෙන් පිටත් ව ගියේ ය.
8ඉන්පසු දාවිත් නැඟිට ගුහාවෙන් පිටතට ගොස්, “මාගේ ස්වාමීනි, රජ්ජුරුවන් වහන්සැ”යි හඬගැසුවේ ය. සාවුල් පස්සට හැරී බැලූ කල, දාවිත් මුණින්තළා වී වැඳ, 9සාවුල්ට මෙසේ කීවේ ය: “ ‘දාවිත් ඔබට අනතුරු කරන්නට සොයන්නේ ය’යි කියන මිනිසුන්ගේ වචනවලට ඔබ සවන් දෙන්නේ මන් ද? 10සමිඳාණන් වහන්සේ අද ගුහාවේ දී ඔබ මා අතට පාවා දුන් බව ඔබේ ඇස්වලින් ම මේ දවසේ දී පෙනෙනු ඇත. සමහරු ඔබ මරන්නට කියා මට කී හ. එහෙත්, මම ඔබට කරුණා කෙළෙමි. මන්ද, ‘මාගේ ස්වාමියා සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා බැවින් ඔහුට විරුද්ධ ව මාගේ අත ඔසවන්නේ නැතැ’යි මම කීමි. 11තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය. 12සමිඳාණන් වහන්සේ ඔබ හා මා අතරේ විනිශ්චය කොට, මට විරුද්ධ ව ඔබ ක්‍රියා කර ඇති බැවින්, ඔබට දඬුවම් කරන සේක්වා. මම නම් ඔබට කිසිම අනතුරක් නොකරමි. 13පැරැණි ආප්තෝපදේශයේ හැටියට දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙයි. එහෙත්, මම ඔබට දුෂ්ටකමක් නොකරන්නෙමි. 14ඉශ්රායෙල්වරුන්ගේ රජතුමා කවරෙකු ලුහුබැඳ එන්නේ ද? මළ බල්ලෙකු පස්සේ ද? බලුමැක්කෙකු පස්සේ ද? 15සමිඳාණන් වහන්සේ විනිශ්චයකාරයාණන් වී මාගේ පැමිණිල්ල අසා ඔබත් මාත් අතරේ විනිශ්චය කර, ඔබේ අතින් මා ගළවන සේක් වා!”
16දාවිත් මේ වචන සාවුල්ට කියා නිම කළ පසු සාවුල් කතා කොට, “දාවිත්, මාගේ පුත්‍රය, ඔය ඔබේ හඬ ද?” කියා ශබ්ද නඟා හැඬුවේ ය. 17ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය. 18සමිඳාණන් වහන්සේ ඔබ අතට මා පාවා දුන් විට පවා, ඔබ මා නොමරා, මට යහපත කළ බව අද ඔබ මට පෙන්වා දුන්නෙහි ය. 19මිනිසෙකුට සිය සතුරා අසු වුණොත්, ඔහුට සුව සේ යන්නට ඉඩ හරියි ද? එබැවින් ඔබ අද දවසේ මට කළ මේ දේ නිසා සමිඳාණන් වහන්සේ ඔබට යහපත් විපාකයක් දෙන සේක් වා! 20සැබැවින් ම ඔබ රජ වන බවත්, ඉශ්රායෙල්වරුන්ගේ රාජාධිපත්‍යය ඔබ අතේ ස්ථිර ව පවතින බවත් මම දනිමි.
පිළිතුරු ගීය ගීතාවලිය 57:2, 3-4, 6 11
2අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි;
මට සියල්ල සලසා දෙන අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි.
3මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක.
දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.
4මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි.
උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න;
උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.6 මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ;
මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය. 11 දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!
ආලේලූයියා 2 කොරින්ති 5:19
19එහි තේරුම නම්, මිනිසුන්ගේ පව් ඔවුනට විරුද්ධ ව ගණන් නොගෙන ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, දෙවියන් වහන්සේ, ලෝකය තමන් වහන්සේට සමඟි කරගනිමින් සිටි බවත්, ඒ සමඟි කිරීමේ සේවය අපට භාර දුන් බවත් ය.
සුබාරංචිය මාක් 3:13-19
13උන් වහන්සේ කඳුකරයට වැඩම කර, තමන් කැමැති වූවන් තමන් වෙත කැඳවූ සේක. ඔව්හු උන් වහන්සේ වෙත ආවෝ ය. 14උන් වහන්සේ දොළොස් දෙනෙකු පත් කළ සේක; ඔවුන්ට අපෝස්තුළුවරු යයි නම් තැබූ සේක. උන් වහන්සේ එසේ කෙළේ, ඔවුන් තමන් හා සමඟ සිටින පිණිසත්, සුබ අස්න දේශනා කිරීමට යවන පිණිසත්, 15දුෂ්ටාත්මයන් දුරු කිරීමේ බලය ඇති ව සිටින පිණිසත් ය, 16එසේ පත් කළ දොළොස් දෙනා කවුරු ද යත්: පේදුරු යයි උන් වහන්සේ නම් කළ සීමොන් ද, 17‘ගර්ජනා පුත්‍රයෝ’ යන අර්ථය දෙන ‘බෝවනර්ගස්’ යයි උන් වහන්සේ නම් කළ සෙබදීගේ පුත් ජාකොබ් සහ ඔහුගේ සොහොයුරු ජොහන් ද 18ඇන්ඩෘ සහ පිලිප් ද බර්තොලමෙව් සහ මතෙව් ද තෝමස් සහ අල්පෙවුස්ගේ පුත් ජාකොබ් ද තද්දෙවුස් සහ අන්ත ජාතිවාදී සීමොන් ද 19උන් වහන්සේ පාවා දුන් ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.

0 Comments