2022 ජනවාරි 20 බ්‍රහස්පතින්දා සාමාන්‍ය සමය දෙවන සතිය
පළමු කියවීම 1 සාමුවෙල් 18:6-9; 19:1-7
6දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්‍රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ. 7කාන්තාවෝ නට නටා ගී ගයමින්,
“මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි
කී හ. 8සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. 9එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි.
1දාවිත් මරන ලෙස සාවුල් තම පුත් ජොනතන්ටත්, තමාගේ සියලු සේවකයන්ටත් කීවේ ය. එහෙත්, සාවුල්ගේ පුත් ජොනතන් දාවිත්ට බොහෝ සේ ප්‍රේම කෙළේ ය. 2ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න. 3ඔබ සිටින කෙතෙහි මාගේ පියා ළඟට පැමිණ ඔබ ගැන මාගේ පියා සමඟ කතා කරන්නෙමි. ඔබට දන්වන්න යම් කරුණක් ඇත්නම් මම ඔබට දන්වන්නෙමි”යි දාවිත්ට කීවේ ය.
4ජොනතන් තම පිය සාවුල්ට දාවිත්ගේ ගුණ වර්ණනා කරමින් මෙසේ කී ය: “පිය රජතුමෙනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධ ව පව් නොකරන්න. මන්ද, ඔහු ඔබට විරුද්ධ ව පව් කෙළේ නැත. ඇරත් ඔහු කළ හැම ක්‍රියාවක් ම ඔබට ඉතා ප්‍රයෝජනවත් විය. 5ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”
6සාවුල් ජොනතන්ගේ බසට ඇහුම්කන් දී, ඔහු දාවිත් නොමරන බව සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කීවේ ය. 7ජොනතන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගෙන ගියේ ය. දාවිත් ද පෙර ලෙස සාවුල් ඉදිරියෙහි සේවය කෙළේ ය.
පිළිතුරු ගීය ගීතාවලිය 56:2-3, 9-10A, 10B-11, 12-13
2සතුරෝ දවස පුරා මා ලුහුබැඳ එන්නෝ ය.
මට එරෙහි ව කොපමණ අය සටන් කරන්නෝ ද?
3අතිඋතුම් දෙවිඳුනි, යම් දිනෙක මම බිය වන්නෙම් ද?
එදින මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි. 9 මා ඔබ අයැදින දවසෙහි මාගේ සතුරෝ පසු බැස යන්නෝ ය.
දෙවිඳුන් මට පක්ෂ බව එවිට මම දැනගන්නෙමි.
10මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි;
දෙවිඳුන්ගේ වචනය ගැන උදන් අනන්නෙමි.
11දෙවිඳුන් කෙරෙහි නොබිය ව මාගේ විශ්වාසය තබන්නෙමි;
මිනිසා මට කුමන අනතුරක් කිරීමට සමත් වන්නේ ද?
12දෙවිඳුනි, ඔබට පොරොන්දු වූ බාරහාර මම ඉටු කරන්නෙමි;
ඔබට තුති පූජා පුදන්නෙමි.
13මන්ද, ඔබ, මා මරණින් මිදූ සේක.
මාගේ පාද පැකිළීමෙන් වැළැක්වූ සේක.
එසේ කෙළේ, ජීවනාලෝකයෙහි දෙවිඳුන් අබියස මා හැසිරෙන පිණිස ය
ආලේලූයියා 2 තිමති 1:10
10එහෙත් මෙය දැන් එළිදරව් කරන ලද්දේ අපේ මිදුම්කාරයාණන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමෙන් ය. උන් වහන්සේ මරණයේ බලය බිඳදමා, ජීවනයත්, අමරණීය භාවයත්, සුබ අස්න මඟින් හෙළි කර වදාළ සේක.
සුබාරංචිය මාක් 3:7-12
7ජේසුස් වහන්සේ එතැනින් නික්ම සිය ශ්‍රාවකයන් සමඟ මුහුදු වෙරළට වැඩිය සේක. ගලීලයෙන් සහ ජුදයෙන් ද 8ජෙරුසලමෙන් ද ඉදුමයෙන් ද ජොර්දාන් එගොඩින් ද තීර් සහ සීදොනය අවටින් ද මහා ජනකායක් උන් වහන්සේ කළ සියල්ල ගැන අසා උන් වහන්සේ වෙත ආහ. 9 සමූහයා උන් වහන්සේ නොතෙරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම් ව තිබිය යුතු යයි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. 10එසේ කීවේ, උන් වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හෙයින්, රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආ බැවිනි. 11අශුද්ධාත්මයෝ ද උන් වහන්සේ දුටු හැම විට ම උන් වහන්සේගේ පාමුල වැඳ වැටී, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි මොරගා කී හ. 12තමා කවරෙක් දැ යි හෙළි නොකරන ලෙස උන් වහන්සේ ඔවුන්ට තදින් අණ කළ සේක

0 Comments